‘රුහුණු රස සරණිය - 2019’ ආහාර ප්‍රදර්ශනය සඳහා නාවික හමුදා දායකත්වය

දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යංශය හා ත්‍රිවිධ හමුදාව එක්ව වාර්ෂිකව සංවිධානය කරනු ලබන ‘රුහුණු රස සරණිය’ ආහාර ප්‍රදර්ශනය මෙවරත් 2019 නොවැම්බර් 29 සහ 30 යන දෙදින පුරා ගාල්ල නගර ශාලා භූමියේදී පවත්වන ලදී.

මෙවර ආහාර ප්‍රදර්ශනය සඳහා නාවික හමුදාව ද ප්‍රදර්ශන කුටියක් එක් කොට තිබූ අතර, නාවික හමුදා කුටිය දකුණු නාවික විධානය භාර ආඥාපති රියර් අද්මිරාල් කස්සප පෝල් විසින් විවෘත කරන ලදී. ශ්‍රී ලංකාවේ සියලුම පළාත් වලට අයත් ආහාර වර්ග පිළියෙළ කරනු ලබන අන්දම පිළිබඳව සහ නව ආහාර පාන රැසක් සකස් කර ගන්නා ආකාරය පිළිබඳව ප්‍රායෝගික අත්දැකීමක් පැමිණි පිරිස හට ලබාදිමට එහිදී නාවික හමුදාව කටයුතු කරන ලදි.

මෙම ආහාර ප්‍රදර්ශනය නැරඹීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරමින් දකුණු නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුලු නිලධාරීන් හා නාවිකයින් මෙන්ම මහජනතාව විශාල පිරිසක්ද සහභාගි වී සිටියහ.