ජාත්‍යන්තර සමුද්‍රීය නීති බලාත්මක කිරීමේ නිලධාරීන් සඳහා පවත්වන ලද විශේෂ පුහුණු වැඩසටහන සාර්ථකව නිමාවට පත්වේ

එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ පාර්ශවකරුවන් වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පැවැත් වූ නෞකා හා යාත්‍රාවලට ප්‍රවිශ්ඨ වීමත්, ඒවා සෝදිසි කිරීමේ ක්‍රියාපටිපාටීන් හා ක්‍රමෝපායන් පිළිබඳ පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානෝත්සවය 2019 නොවැම්බර් 30 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහභාගී වූ අතර, ගෞරවණිය ආරාධිත අමුත්තන් වශයෙන් ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අතිගරු අකීරා සුගියාමා (Akira Sugiyama) මහතා සහ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ අධ්‍යක්‍ෂ, මිවා කාටෝ (Miwa Kato) මහත්මිය සහභාගී විය. තවද, මැලේසියානු, තායිලන්ත සහ වියට්නාම යන රටවල්වල මහකොමසාරිස්වරුන් සහ තනාපතිවරු මෙන්ම රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සාමාජිකයන්, ඉන්දුනීසියානු වෙරළාරක්‍ෂක බලකාය නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක්, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු ජ්‍යේෂ්ඨ නිලධාරින් මෙන්ම එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ අනුයුක්ත නිලධාරින් සහ විශේෂ යාත්‍රා බලඝනයේ උපදේශකයින් පිරිසක් සහභාගීවී සිටියහ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ විශේෂ පුහුණු වැඩසටහන් යටතේ මෙම පුහුණු වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබන අතර, මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දැනුමැති ශ්‍රී ලංකා නාවික හමුදා සම්පත්දායකයින් සහ උපදේශකයින් ‍විසින් මත්ද්‍රව්‍ය හඳුනා ගැනීම, ලෝකයේ මත්ද්‍රව්‍ය හුවමාරු කිරීමේ ක්‍රම හඳුනාගැනීම හා ප්‍රවාහනය මැඩපැවැත්වීම පිළිබඳව දැනුමක් ලබා දීමට සහ අත්දැකීම් හුවමාරු කර ගැනීමට කටයුතු කරන ලදී.

මෙම පාඨමාලාව සති 02 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී පැවැති අතර, ඒ සඳහා ඉන්දුනීසියානු ආරක්‍ෂක නිලධාරින් 03 දෙනෙකු, මැලේසියානු ආරක්‍ෂක නිලධාරින් 03 දෙනෙකු, පිලිපීන ආරක්‍ෂක නිලධාරින් 03 දෙනෙකු තායිලන්ත ආරක්‍ෂක නිලධාරින් 04 දෙනෙකු සහ වියට්නාම ආරක්‍ෂක නිලධාරින් 03‍ දෙනෙකු ඇතුළුව නිලධාරින් 16 දෙනෙකු හට මෙහිදී සහතික ප්‍රදානය කෙරුණි. සහතික ප්‍රදානය කිරීමෙන් අනතුරව, සමුද්‍රීය නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුම් රාජකාරිය මුහුදේදී සිදු කරන්නේ කෙසේද යන්න නිරූපණය කිරීම සඳහා පුහුණුවන ලද නිලධාරින් විසින් නිපුණතා සංදර්ශනයක් ද ඉදිරිපත් කරන ලදී.

සහතිකපත් ප්‍රදානොත්සවයෙන් අනතුරුව, ත්‍රිකුණාමලය, එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය සහ අපරාධ පිළිබඳ ආයතනයේ මුල්‍ය දායකත්වය යටතේ විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථානයේ මහල් තුනකින් යුක්තව ඉදි කිරීමට අපේක්‍ෂිත ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීම ද සිදු කරන ලද අතර, පුහුණුවන නිලධාරින් වෙනුවෙන් එම පරිශ්‍රයේ ඉදි කිරීමට යෝජිත නෞකාවක ආකෘතිය සහිත නිදර්ශකය සඳහා වූ ඵලකය නිරාවරණය කිරීම ද එහිදී සිදු කෙරුණි.