මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2019 දෙසැම්බර් මස 01 වන දින යාපනය නගරය ආශ්‍රිත ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමඟ කේරළ ගංජා කිලෝග්‍රෑම් 04.210 ක් අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මත්ද්‍රව්‍ය මෙරටින් තුරන් කිරීම අරමුණු කර ගනිමින් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන මෙහෙයුමක් අද නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය එක්ව යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී. එහිදී සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී යාපනය, 03 වන හරස් වීදියේ ගමන්ගත් සැක කටයුතු යතුරු පැදියක් නිරීක්‍ෂණය කර ඇති අතර, එම යතුරු පැදිය පරීක්‍ෂාවට ලක් කිරීමේදී යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි පුද්ගලයා ලඟ තිබි මෙම කේරළ ගංජා ප්‍රමාණය සොයාගෙන ඇත.

එම සැකකරු වයස අවුරුදු 34 ක් වන මඩකළපුව, ආරියම්පති ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, අදාල සැකකරු, යතුරු පැදිය සහ කේරළ ගංජා ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා යාපනය, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.