අන්තර් විධාන පිරිමි සහ කාන්තා පැසිපන්දු තරඟාවලියේ ජයග්‍රහණය බටහිර නාවික විධානයට

2019 වර්ෂය සඳහා වු ශ්‍රී ලංකා නාවික හමුදා අන්තර් විධාන පැසිපන්දු තරඟාවලිය 2019 නොවැම්බර් 25 වන දින සිට දෙසැම්බර් 01 වන දින දක්වා ශ්‍රී ලංකා නාවික නෞකා ‘ගැමුණු’ ආයතනයේදී පවත්වන ලද අතර, තරඟාවලියේ ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා සහභාගිවී සිටියහ.

මෙම තරඟාවලිය සඳහා නාවික හමුදා සියළු නාවික විධානයන් ආවරණය වන පරිදි පිරිමි කණ්ඩායම් 09 ක් සහ කාන්තා කණ්ඩායම් 06 ක් සහභාගීවූ අතර, එහිදී නාවික දියත් විධාන කණ්ඩායම සහ බටහිර නාවික විධානය අතර පැවති (පිරිමි) අවසන් මහා තරඟ‍යෙන් ලකුණු 48 – 36 ක් ලෙස තියුණු ජයක් අත්කර ගැනීමට බටහිර නාවික විධාන පැසිපන්දු කණ්ඩායම සමත් විය.

මෙහිදී කාන්තා පැසිපන්දු තරඟාවලියේදී පුහුණු නාවික විධානය සහ බටහිර නාවික විධානය අතර පැවති අවසන් මහා තරඟ‍යෙන් ලකුණු 11 – 04 ක් ලෙස තියුණු ජයක් අත්කර ගැනීමට බටහිර නාවික විධාන කාන්තා පැසිපන්දු කණ්ඩායම සමත් විය. තවද, පිරිමි පැසිපන්දු තරඟාවලියේ තෙවන ස්ථානය උතුරු මැද නාවික විධානය නියෝජනය කල කණ්ඩායම හිමිකර ගත් අතර, කාන්තා තරඟාවලියේ තෙවන ස්ථානය උතුරු නාවික විධානය නියෝජනය කල කණ්ඩායම හිමිකර ගැනීමට සමත් විය.

අධ්‍යක්‍ෂ ජෙනරාල් සේවා, රියර් අද්මිරාල් නිලන්ත හීනටිගල ඇතුළු සියළුම නාවික විධානයන් නියෝජනය කරමින් නිලධාරීන් සහ නාවිකයන් විශාල පිරිසක් ද එම තරඟාවලිය නැරඹීම සඳහා සහභාගී වී සිටියහ.