‘කලම්බු සුපර් ක්‍රොස් - 2019’ ධාවන තරඟාවලිය වැලිසරදී සාර්ථකව නිමාවට පත්වේ

ශ්‍රී ලංකා නාවික හමුදාව තෙවනවරටත් ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමය හා එක්ව සංවිධානය කරනු ලැබූ ‘කලම්බු සුපර් ක්‍රොස් - 2019’ තරඟාවලිය 2019 දෙසැම්බර් මස 01 වන දින වැලිසර පිහිටි නාවික හමුදා මෝටර් රථ ධාවන පථයේදී සාර්ථක අයුරින් නිමාවට පත්විය.

තිස් වසරක කුරිරු යුද්ධයේදී මාතෘ භූමිය වෙනුවෙන් දිවි කැපකල හා ආබාධිත තත්ත්වයට ලක් වූ නාවික රණවිරුවන්ට සහ ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන්ගේ සුභසාධන කටයුතු හා ඔවුන්ගේ ජීවන මට්ටම නගා සිටුවීමේ අරමුණින් නාවික හමුදාව සංවිධානය කරනු ලැබු මෙම තරඟාවලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න සහභාගී විය.

ත්‍රිවිධ හමුදා නියෝජනය කරනු ලබන ධාවකයින් මෙන්ම දිවයිනේ ප්‍රමුඛ පෙළේ යතුරුපැදි සහ මෝටර් රථ ධාවකයින්ද මෙම තරඟාවලිය සඳහා සහභාගි විය. ඒ අනුව යතුරුපැදි ධාවකයින් 94 දෙනෙක් සහ මෝටර් රථ ධාවකයින් 67 දෙනෙකු මෙම තරඟාවලිය සඳහා සහභාගි වූ අතර, එහිදී යතුරුපැදි අංශයේ තරඟ 12 ක් මෙන්ම මෝටර් රථ අංශයේ තරඟ 11 ක් සමගින් සමස්ත තරඟ ඉසව් 23 ක් පවත්වන ලදි. මෙහිදී දිවයිනේ සිටින දක්ෂ මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සුවිශේෂි හැකියාවන් හා දක්ෂතා පහසුවෙන් දැක බලා ගැනීමට ප්‍රේක්ෂකයන්ට අනගි අවස්ථාවක් හිමි විය. මෙහිදී පහත සඳහන් ජයග්‍රහණ නාවික හමුදාව විසින් දිනා ගන්නා ලදි.

Standard 125 cc
සිව් වන ස්ථානය - නායක නැවි ජීආර්කේ විජේසේකර

Standard 250 cc - Race. 01
දෙවන ස්ථානය - සාමාන්‍ය නැවි ඊබී ගුරුසිංහ

Standard 250 cc - Race. 02
ප්‍රථම ස්ථානය - සාමාන්‍ය නැවි ඩීඑම්ඩීඑස්ජේ සදරුවන්
දෙවන ස්ථානය - සාමාන්‍ය නැවි ඊබී ගුරුසිංහ

Racing 250 cc - Race. 01
තෙවන ස්ථානය - සාමාන්‍ය නැවි ඊබී ගුරුසිංහ
සිව්වන ස්ථානය - සාමාන්‍ය නැවි ඩීඑම්ඩීඑස්ජේ සදරුවන්

Racing 250 cc - Race. 02
සිව්වන ස්ථානය - සාමාන්‍ය නැවි ඊබී ගුරුසිංහ
පස්වන ස්ථානය - සාමාන්‍ය නැවි ඩීඑම්ඩීඑස්ජේ සදරුවන්

තවද, තරඟාවලියේ යතුරුපැදි ශූරයා ලෙස ජේ. ගුණවර්ධන ක්‍රීඩකයා සම්මාන හිමිකර ගත් අතර, තරඟාවලියේ මෝටර් රථ ශූරයාට හිමි සම්මානය අෂාන් සිල්වා ක්‍රීඩකයා හිමි කර ගන්නා ලදී. මෙම අවස්ථාවට නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා, නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන්, ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයින්ගේ සංගමයේ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන් හා සෙසු නිලයන් මෙන්ම ප්‍රේක්ෂකයන් විශාල පිරිසක් ද සහභාගිවී සිටියහ.

තවද, තරඟාවලයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න වෙත නාවික හමුදාධිපතිතුමා විසින් සමරු තිලිණයක් ද ප්‍රදානය කරන ලදී.