අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය 2019

2019 වර්ෂයට අදාලව නාවික දියත් විධානය විසින් සංවිධානය කරන ලද අන්තර් නෞකා/යාත්‍රා, සංඥා, කඹ හා ගැට තරඟාවලිය 2019 දෙසැම්බර් 02 වන දින ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නාගොඩ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

තරඟාවලියේ ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන්, නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා ධජ නිලධාරී නාවික දියත් විධානය, රියර් අද්මිරාල් උපුල් ද සිල්වා, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, නෞකා හා ආයතනයන්හි අණදෙන නිලධාරීන් ඇතුළු නාවික පුද්ගලයින් රැසක් මෙම අවස්ථාව සඳහා සහභාගී වී සිටියහ.

මෙම තරඟාවලිය විශාල නෞකාවන්, කුඩා නෞකා/යාත්‍රා සහ වේග ප්‍රහාරක යාත්‍රා වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පැවැති අතර, ඒ සඳහා නැගෙනහිර, උතුරු, බටහිර සහ දකුණූ යන නාවික විධානයන් නියෝජනය කළ තරඟකරුවන් රැසක් එහි අවසන් තරඟ වටයේදී සිය දක්ෂතා දක්වන ලදී. මෙම තරඟාවලියේ අරමුණ වුයේ සංඥා, කඹ හා ගැට යන විෂයයන් පිළිබඳ හොඳම නෞකාව සහ යාත්‍රාව තෝරා ගැනීමයි. ඒ අනුව, ශ්‍රී ලංකා නාවික නෞකා සාගර නෞකාව නියෝජනය කළ කණ්ඩායම, ශ්‍රී ලංකා නාවික නෞකා රණරිසි නෞකාව නියෝජනය කළ කණ්ඩායම සහ පී 450 හා පී 414 යන වේග ප්‍රහාරක යාත්‍රා නියෝජනය කළ කණ්ඩායම් පිලිවෙලින් විශාල නෞකා අංශය සහ කුඩා නෞකා/ යාත්‍රා අංශය සඳහා වූ හොඳම Semaphore සහ Flashing ඉදිරිපත් කිරීමට හිමි කුසලාන හිමි කර ගන්නා ලදී. තවද, ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ, ශ්‍රී ලංකා නාවික නෞකා උදාර යන නෞකාවන් නියෝජනය කළ කණ්ඩායම් සහ යාත්‍රා අංශයෙන් සහභාගී වූ පී 402 වේග ප්‍රහාරක යාත්‍රා කණ්ඩායම දක්ෂතම කඹ හා ගැට (Rigging) කණ්ඩායම් වශයෙන් තේරී පත් විය. එමෙන්ම, ශ්‍රී ලංකා නාවික නෞකා සාගර, ශ්‍රී ලංකා නාවික නෞකා රත්නදීප නෞකාවන් නියෝජනය කළ කණ්ඩායම් සහ පී 430 වේග ප්‍රහාරක යාත්‍රාව නියෝජනය කළ කණ්ඩායම දක්‍ෂතම ROR (Rule of the Road) කණ්ඩායමට හිමි කුසලානය හිමි කර ගන්නා ලදී.

තරඟාවලියේ දක්ෂතා දැක්වූ ක්‍රීඩකයින් අගය කරනු වස් ඔවුන් හට විශේෂ සම්මාන ප්‍රදානය කිරීමක් ද එහිදී සිදු කෙරිණි. ඒ අනුව පී 450 වේග ප්‍රහාරක යාත්‍රාව නියෝජනය කළ ලුතිනන් එල්යූඒඩබ්සී ලන්සක්කාර නිලධාරියා ROR අංශයේ දක්ෂතම නිලධාරියා වශයෙන් කුසලානය දිනා ගන්නා ලදී. කඹ හා ගැට අංශයේ දක්ෂතම නාවිකයා වශයෙන් ශ්‍රී ලංකා නාවික නෞකා සිඳුරළ නෞකාව නියෝජනය කළ නිවාස සහායක ඒකේඑම් සඳරුවන් කුසලානය හිමි කර ගත් අතර, Semaphore සහ Flashing අංශයේ දක්ෂතම සංඥා නාවිකයා ලෙස පී 474 වේග ප්‍රහාරක යාත්‍රාව නියෝජනය කළ සංඥා ඩීකේඒ මධුවන්ත කුසලානය හිමි කර ගැනිණි.