විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාව ත්‍රිකුණාමලයේදී ආරම්භ කෙරේ

විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාවක් 2019 දෙසැම්බර් 02 වන දින ත්‍රිකුණාමලය, නාවික හමුදා විශේෂ යාත්‍රා බලඝණ මූලස්ථාන ශ්‍රවණාගාරයේදී ආරම්භ කරන ලදී.

මෙම පුහුණු පාඨමාලාවේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරි, කපිතාන් ධම්මික විජේවර්ධන සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට සහ විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවික පුද්ගලයින් මෙන්ම ඇමෙරිකානු නාවික හමුදාවේ සාමාජිකයින් පිරිසක් ද සහභාගිවී සිටියහ.

මෙම පාඨමාලාව සඳහා සහ විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවික පුද්ගලයින් 24 දෙනෙකු සහ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට අනුයුක්ත නාවික පුද්ගලයින් 12 දෙනෙකු ඇතුළුව ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් 36 දෙනෙකු සහභාගී වන අතර, ඇමෙරිකානු නාවික හමුදාවේ සාමාජිකයින් 08 දෙනෙකු විසින් මෙම පාඨමාලාව මෙහෙයවනු ලබයි.

මෙම පාඨමාලාව තුළින් පුහුණුව හා ආධාරක අවශ්‍යතා සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය අවබෝධය සහ එකඟතාවය ලබා ගැනීමට නාවික පුද්ගලයින් හට හැකියාව ලැබෙන අතර, එය සති 02 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී පවත්වනු ලබයි. මෙම පුහුණු පාඨමාලා‍වේදී සාගරික කලාපයේ භූමිකාව, යාත්‍රා නඩත්තුව, යාත්‍රා චලනය, සාගරික ආරක්‍ෂාව, මෙහෙයුම් සැලසුම් සහ පුද්ගලික ආරක්‍ෂාව ආදි ක්‍රියාකාරකම් ප්‍රධාන අරමුණු ලෙස හැදින්විය හැක.

තවද, මෙහිදී ඇමෙරිකා එක්සත් ජනපද නාවික හමුදා සාමාජිකයින් සහ ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් අතර දැනුම හුවමාරු කර ගැනීම අපේක්‍ෂා කරන අතර, මෙම පාඨමාලාව 2019 දෙසැම්බර් 13 වන දිනෙන් අවසන් කිරීමට නියමිතය.