නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වු පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 03 වන දින කල්පිටිය, කිඹුල්බොක්ක ප්‍රදේශයට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමක දී නීති විරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් නවදෙනෙකු (09) නාවික හමුදා භාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ මත්ස්‍ය සම්පත් සුරැකීම වෙනුවෙන් නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කර ඇති මෙහෙයුමක් අතරතුරදී කල්පිටිය, කිඹුල්බොක්ක ප්‍රදේශයට ඔබ්බේන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරිමකදී බලපත්‍ර නොමැතිව කිමිදුම් කටයුතු වල නිරත වු මෙම පුද්ගලයින් පිරිස නාවික හමුදා භාරයට ගෙන ඇත. මෙම පිරිස සතුව තිබි ඩිංගි යාත්‍රා 03 ක්, නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් කිලෝග්‍රෑම් 85 ක්, මුහුදු කුඩැල්ලන් 165 ක්, පිටත දහන යන්ත්‍ර 03 ක් සහ කිමිදුම් කටයුතු සඳහා යොදා ගන්නා ආම්පන්න තොගයක් සොයා ගෙන ඇති අතර, මෙම පුද්ගලයින් වයස අවුරුදු 25 ත් 42 ත් අතර වියෙහි පසුවන කල්පිටිය, මුලතිව් සහ පුත්තලම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

මෙලෙස නාවික හමුදා භාරයට ගත් සැකකරුවන්, ඩිංගි යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, මසුන් තොගය, මුහුදු කුඩැල්ලන් තොගය, කිමිදුම් උපකරණ සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා පුත්තලම, ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.