රුසියානු හමුදා නියෝජිතයින් පිරිසක් නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන රුසියානු හමුදාවේ නියෝජිතයින් පිරිසක් 2019 දෙසැම්බර් 04 වන දින නැගෙනහිර නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වන ලදී.

නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින රුසියානු හමුදාවේ ජේරුසේලමේ හමුදා ආරක්‍ෂක විද්‍යාලයේ ආඥාපති, මේජර් ජෙනරාල් අන්ඩ්‍රෙයි ඉලනික් ඇතුළු නියෝජිතයින් පිරිස මෙලෙස නැගෙනහිර නාවික විධානයේ සංචාරයක නිරත විය. එහිදී මේජර් ජෙනරාල් අන්ඩ්‍රෙයි ඉලනික් ඇතුළු ‍නියෝජිත පිරිස නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හමුවී ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව අදහස් හුවමාරු කර ගන්නා ලදි. එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කරන ලදී.

අනතුරව, රුසියානු හමුදාව විසින් සිරියාවේ සිදු කරනු ලබන ත්‍රස්ත මර්ධන කටයුතුවල ඔවුන්ගේ අත්දැකිම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මේජර් ජෙනරාල් අන්ඩ්‍රෙයි ඉලනික් ගේ ප්‍රදනාත්වයෙන් ත්‍රිකුණාමලය, අද්මිරාල් වසන්ත කරන්නගොඩ ශ්‍රවණාගාර‍යේදී පැවැත්විණි. ඒ සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.