නාවික හමුදාව අනතුරට පත් ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන එයි

මුහුදේදී සිදු වූ අස්ථි භග්නයක් හේතුවෙන් ධීවරයෙකු වෛද්‍ය ප්‍රථිකාර සදහා ගොඩබිම වෙත රැගෙන ඒමට අද (2019 දෙසැම්බර් 05) ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී.

ශ්‍රී ලංකාව වටා වූ සාගර කලාපය ප්‍රයෝජනය ගනු ලබන ධීවර සහ නාවික ප්‍රජාවගේ සුරක්‍ෂිත භාවය වෙනුවෙන් නිරන්තරයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, 2019 නොවැම්බර් මස 28 වන දින බේරුවල ධීවර වරායෙන් පිටත්ව ගොස් තිබූ ‘නලින් - 07’ නැමති බහුදින ධීවර යාත්‍රාවේ සිටි ධීවරයෙකුගේ පාදයේ සිදු වූ අස්ථි භග්නයක් හේතුවෙන් ගොඩබිම වෙත රැගෙන ඒමට අද මෙලෙස කටයුතු කරන ලදී.

එම ධීවර යාත්‍රාවේ හිමිකරු විසින් සිදුකරන ලද දැනුම්දීමකට අනුව ක්‍ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව රෝගියා රැගෙන ඒම සඳහා දකුණු මුහුදු තීරයේ මුර සංචාරයේ යෙදී සිටි වේග ප්‍රහාරක යාත්‍රාවක් පිටත් කර යැවීමට කටයුතු කරන ලදී. ගාල්ල ප්‍රදීපාගාරයට නාවික සැතපුම් 55 ක් පමණ වූ දුරකදි මුහුදේ රළු ස්වභාවය ද නොතකමින් රෝගියා වේග ප්‍රහාරක යාත්‍රාව වෙත ලබා ගැනීමෙන් අනතුරුව රෝගියා හට මුලික ප්‍රථමාධාර ලබා දෙමින් නිරුපද්‍රිතව ගොඩබිම වෙත රැගෙන ඒමට කටයුතු කෙරිණි. ඒ අනුව, ගාල්ල වරාය වෙත රැගෙන එනු ලැබූ රෝගියා වෛද්‍ය ප්‍රථිකාර සඳහා කරාපිටිය, ශික්‍ෂණ රෝහල වෙත යොමු කරන ලදී.

තවද, ශ්‍රී ලංකාව වටා ඇති සාගරය ප්‍රයෝජනයට ගනු ලබන නාවික හා ධිවර ප්‍රජාවට සිදුවන ඕනෑම ආපදාවකදී සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම් සිදු කර ආපදාවට පත් පුද්ගලයින් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව දායක වන අතර, මෙවැනි රෝගී ධීවරයින් ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙන ඒමට නාවික හමුදා සහාය අවශ්‍ය වූ විට ලබා දිමට නාවික හමුදාව ඉදිරියේදීත් කටයුතු කරනු ලබයි.