නාවික හමුදාවෙන් නිෂ්පාදිත තැලසීමියා නික්ෂේපණ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ‍භාරදීම නාවික හමුදාධිපතිගේ ප්‍රදානත්වයෙන් සිදු කෙරේ

තැලසීමියා රෝගීන් සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත භාර දීම අද (2019 දෙසැම්බර් 05) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.

මෙම තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 118 ක් නිල වශයෙන් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය වෙත භාර ගැනීම සඳහා අමත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකයේ අධ්‍යක්ෂ, වෛද්‍ය කේඒඩීඩීවීඑල් කුමරපේලි මහත්මිය සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් සෞඛ්‍ය හා සේවා, වෛද්‍ය රියර් අද්මිරාල් සේනරූප ජයවර්ධන ද එක්විය.

තැලසීමියා රෝගී තත්ත්වය හේතුවෙන් රුධිරයේ අඩංගු යකඩ ශරීරය තුළ එක්රැස් වන අතර, නැවත නැවත රුධිරය ලබාගැනීමේදී ද මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය වේ. එබැවින් ශරීරය තුළ එකතු වන යකඩ ඉවත් කිරීම සඳහා මෙම තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර රෝගීන් හට අත්‍යාවශ්‍ය වේ. එම රෝගීන් හට ප්‍රතිකාර කිරීමේ පහසුව සඳහා නාවික හමුදා සමාජ සුභසාධන ව්‍යාපෘතිය යටතේ මෙම නික්ෂේපණ යන්ත්‍ර නිෂ්පාදනය කර සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබා දීම සිදු කෙරේ.

තවද, වෙළඳපොලෙහි ඇති තැලසීමියා යන්ත්‍ර මිලදී ගැනීම සඳහා අධික වියදමක් දැරීමට සිදුවන බැවින් බොහෝ රෝගීන් හට එම යන්ත්‍ර මිලදී ගැනීමේ හැකියාවක් නොමැත. මෙම ගැටලුවට පිළියමක් වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය, ස්වකීය සම්පත් හා දැනුම උපයෝගී කරගනිමින් ඉතා අඩු වියදමකින් යුත් නික්ෂේපණ යන්ත්‍රයක් නිපදවීම කෙරෙහි යොමුවිය. ඒ අනුව අඩු වියදමකින් නිෂ්පාදනය කෙරුණු මෙම යන්ත්‍ර වෙළඳපොලෙහි ඇති නික්ෂේපණ යන්ත්‍ර වලට වඩා ඉතා උසස් මට්ටමේ පවතින බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ද නිර්දේශය වී ඇති බැවින් රජයේ රෝහල් හි භාවිතය සඳහා බෙදාදීම සිදු කරනු ලබයි.

එමෙන්ම, මේවන විට නාවික හමුදාව විසින් තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 1885 ක් නිෂ්පාදනය කර ඇති අතර, රටෙහි සමස්ථ අවශ්‍යතාවය වෙනුවෙන් මෙම යන්ත්‍ර ඉදිරියේදීත් නිපදවීමට නාවික හමුදාව කටයුතු කරමින් සිටියි.