ශ්‍රී ලංකා නාවික හමුදා අභිමානවත් 69 වන සංවත්සරයට වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් 09 වන දින අභිමානවත් අයුරින් සැමරීමට සියළු දේ සුදානම්ය. ඊට සමගාමීව නාවික හමුදාව වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇති අතර, එහිදී ආගමික කටයුතු, සාමාජ සත්කාරක සේවා සහ ලේ දන් දීමේ වැඩසටහන් ප්‍රධාන තැනක් ගෙන ඇත.

දේශයේ පලමු ආරක්ෂක වලල්ල වන ශ්‍රී ලංකා නාවික හමුදාව සිය අභිමානවත් සංවත්සරය අරමුණු කර ගනිමින් 2019 දෙසැම්බර් 03 සහ 04 යන දෙදින මුල්ලේරියා මානසික රෝහල් පරිශ්‍රයේ පිහිටි පැරණි ගොඩනැගිලි අළුත්වැඩියා කර නවීකරණය කිරීමට කටයුතු කල අතර, එම කාර්යය රෝහල් කාර්ය මණ්ඩලය විසින් පැසසුමට ලක් කර සිටින ලදී.

එමෙන්ම, නාවික රෝහල (උතුරු මැද) පරිශ්‍රයේදී 2019 දෙසැම්බර් 04 වන දින ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කල අතර, නාවික පුද්ගලයින් විශාල පිරිසක් ස්වේච්ඡාවෙන් මෙම ලේ දන්දීමේ වැඩසටහන සඳහා සිය දායකත්වය ලබා දීමට එක් වී සිටියහ. එම කාර්ය සාර්ථක කර ගැනීම සඳහා අනුරාධපුරය ශික්‍ෂණ රෝහල මෙන්ම තඹුත්තේගම සහ පදවිය මුලික රෝහල්හි ලේ බැංකු කාර්ය මණ්ඩලය සිය සහයෝගය ලබා දීමට කටයුතු කරන ලදී.

තවද, එදිනම නාවික හමුදාවට අයත් බුස්ස පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී ලේ දන්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කල අතර, රුධිරය අවශ්‍යතාවය ඇති රෝගී වූ ජිවිත බේරා ගැනීම එහි මූලික අරමුණ විය. මෙම වැසටහන සඳහා කරාපිටිය ශික්‍ෂණ ‍රෝහලේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලය, ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ කාර්ය මණ්ඩලය සහ නාවික හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලය සිය පුර්ණ දායකත්වය ලබා දෙන ලදී.

අභිමානවත් සංවත්සරයට සමගාමීව නාවික හමුදා මූලස්ථානය සහ සියළු නාවික විධානයන් ආගමික සහ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කර ඇති අතර, එම වැඩසටහන් මාලාව කැලණිය රජමහා විහාරස්ථානයේදී පැවැත්වෙන බෞද්ධාගමික වැඩසටහනින් අවසන්වීමට නියමිතය.


මුල්ලේරියා මානසික රෝහල් පරිශ්‍රය පිරිසිදු කිරීමේ වැඩසටහන


නාවික රෝහල (උතුරු මැද) පරිශ්‍රයේ ලේ දන්දීමේ වැඩසටහන


බුස්ස, ශ්‍රී ලංකා නාවික නෞකා ‘නිපුණ’ ආයතනයේ ලේ දන්දීමේ වැඩසටහන