ශ්‍රීලංනානෞ පරාක්‍රම ආයතනයේ 37 වන සංවත්සරයට සමගාමීව සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් හා දානමය පිංකමක්

ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ අභිමානවත් 37 වන සංවත්සරය එළඹෙන දෙසැම්බර් 09 වන දිනට යෙදී ඇති අතර, එය නිමිති කර ගනිමින් ආයතනයේ අණදෙන නිලධාරී, කපිතාන් මහේෂ් ද සිල්වා ඇතුළු නැව් මුළුව විසින් ආගමික සහ සමාජ සුභ සාධන වැඩසටහන් රාශියක් සංවිධානය කර ඇත.

2019 දෙසැම්බර් මස 09 වන දිනට යෙදී තිබෙන ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයේ 37 වන සංවත්සරයට සමගාමීව 2019 දෙසැම්බර් 05 වන දින සර්වරාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයක් පැවැත්විණි. මෙහිදී අණදෙන නිලධාරී, කපිතාන් මහේෂ් ද සිල්වා විසින් සධාතුක කරඬුව වැඩම කරවූ අතර, එම අවස්ථාව අලංකාර පෙරහැරකින් වර්ණවත් විය. සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයෙන් අනතුරුව, දෙසැම්බර් 06 වන දින ගරුතර මහා සංඝරත්නය විෂයෙහි දානමය පිංකමක් සහ පිරිකර පූජාවක් ද පැවැත්විණි. එහිදී සංඝයාවහන්සේලා විසින් මාතෘ භූමිය වෙනුවෙන් සිය ජීවිතය පූජා කළ නාවික විරුවන්හට සහ ආබාධිත තත්වයට පත් නාවික විරුවන්හට මෙන්ම වත්මන් නාවික හමුදාධිපතිතුමන් ඇතුළු සියලුම නාවික පුද්ගලයන්හට ආශිර්වාද ප්‍රාර්ථනා කරන ලදී.

මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න, නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල්වරුන් ඇතුළු නාවික හමුදා මූලස්ථානයට හා ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රම ආයතනයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ, කණිෂ්ඨ නිලධාරීන් හා නාවිකයින් විශාල පිරිසක් සහභාගී වී සිටියහ.