දිවයින වටා වූ වෙරළ තීරය අපද්‍රව්‍ය වලින් තොර සුන්දර වෙරළක් බවට පත් කිරීමේ නාවික හමුදා දායකත්වය

නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහන් කිහිපයක් උතුරු සහ දකුණු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් 2019 දෙසැම්බර් 07 වන දින ක්‍රියාත්මක කරන ලදි.

නාවික හමුදාව විසින් දිවයින වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ සංකල්පයක් වන ‘සුරක්ෂිත පරිසරයක්’ යන සංකල්පය ද එමගින් ක්‍රියාවට නැංවිමට නාවික හමුදාව අපේක්‍ෂා කර ඇත.

ඒ අනුව නාවික හමුදාව ක්‍රියාත්මක කරන ලද තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් මලාවක් මෙලෙස ක්‍රියාත්මක කරන ලදී. එහිදී උතුරු අර්ධද්වීපයට අයත් යාපනය, කරෛයිනගර් දූපතේ කැසුරිනා වෙරළ තීරය සහ මණ්ඩතිව් දුපතේ වෙරළ තීරය මෙන්ම ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණයට අයත් වෙරළ තීරය ද මෙලෙස පිරිසිදු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. එමෙන්ම, දකුණු වෙරළ තීරය ද පිරිසිදු කිරීම වැඩසටහනක් සඳහා සිය දායකත්වය සැපයීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, එහිදී මහමෝදර වෙරළ තීරය, ගිංතොට වෙරළ තීරය සහ තංගල්ල ඔරුවැල්ල වෙරළ තීරය පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී.

එහිදී, ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරයන් නාවික පුද්ගලයින්ගේ දැඩි කැපවීම මත අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයන් බවට පත් කිරීමට හැකි වූ අතර, මෙම වැඩසටහන් සඳහා නාවික හමුදා පුද්ගලයන් විශාල පිරිසක් සහ ප්‍රදේශයන්හි රාජ්‍ය නිලධාරීන් මෙන්ම ප්‍රදේශවාසින් විශාල පිරිසක් ද සහභාගී වී සිටියහ.

තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත සියළු නාවික විධානයන් කේන්ද්‍ර කරගනිමින් දිවයින වටා වූ වෙරළ තීරය අලංකාරවත්ව සහ සුන්දර වෙරළ තීරයක් බවට පත් කිරීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, එමඟින් දිවයින වටා වූ සියළු වෙරළ තීරයන් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනා ගැනීමට සමත්ව ඇත.


යාපනය ප්‍රදේශයේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන


නැගෙනහිර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන


දකුණු වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහන