දේශයේ පළමු ආරක්ෂක වළල්ල - ශ්‍රී ලංකා නාවික හමුදාව; නාවික හමුදා 69 වන අභිමානවත් සංවත්සරය ‍2019 දෙසැම්බර් මස 09 වන දින

ඉන්දියන් සාගරයේ, උපායමාර්ගික වශයෙන් වැදගත්ම ස්ථානයක ශ්‍රී ලංකාව පිහිටා ඇති බැවින්, ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ ආරක්‍ෂාවට පමණක් නොව, ශ්‍රී ලංකාවට සමීපයෙන් ඉන්දියන් සාගර‍ය හරහා දිවෙන මුහුදු මාර්ගවල ආරක්‍ෂාව සඳහා ද නාවික හමුදාවක අවශ්‍යතාවය දෙවන ලෝක යුද්ධ වකවානුව වනවිට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය විසින් හොඳින් අවබෝධ කරගෙන තිබුණි. ඒ අනුව, ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාව ලෙසින් 1937 වසරේ දී පළමුව ස්ථාපිත කරන ලද නාවික හමුදාව, දෙවන ලෝක යුද්ධයෙන් පසුව ශ්‍රී ලංකා රාජකීය ස්වේච්ඡා නාවික උපසේවය නමින් බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාව වෙත අන්තර්ග්‍රහනය කරන ලදී. ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් නිදහස ලැබීමෙන් පසුව, ශ්‍රී ලංකා රාජකීය නාවික හමුදාව ලෙස 1950 දෙසැම්බර් මස 09 වන දින ස්ථිර නාවික හමුදාවක් ස්ථාපිත කළ අතර, මෙම රාජකීය නාවික හමුදාව 1972 වසරේ ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා නාවික හමුදාව බවට පත්විය. ඉතා සීමිත නැව් මුළුවක් සහ යාත්‍රා කිහිපයකින් පමණක් ආරම්භ වූ ශ්‍රී ලංකා නවික හමුදාව, අද වන විට නිලධාරීන් 3347 කින් සහ නාවිකයින් 47457 කට ආසන්න ප්‍රමාණයකින් සමන්විතව අධිතාක්‍ෂණික ගැඹුරු මුහුදු නිරීක්‍ෂණ නෞකා මෙන්ම අධිතාක්‍ෂණික මෙහෙයුම් පද්ධති සහ උපකරණ වලින් සමන්විතව අප මාතෘභූමිය ආරක්ෂා කරමින් සිටි. එසේ දේශයේ පලමු ආරක්ෂක වලල්ල ලෙසින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා නාවික හමුදාව සිය අභිමානවත් 69 වන සංවත්සරය 2019 දෙසැම්බර් මස 09 වන දින මහත් අභිමානයෙන් සමරනු ලබයි.

දශක තුනකට ආසන්න කාලයක් මාතෘ‍භූමිය වෙලාගත් ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම සඳහා සක්‍රීයව සිදු කළ දායකත්වය තුළින් ලද අත්දැකීම් සහ පන්නරය, නාවික හමුදාව සහ නාවික පුද්ගලයින්ගේ සීඝ්‍ර ගුණාත්මක සහ ප්‍රමාණාත්මක වර්ධනය සඳහා මහත් පිටිවහලක් විය. විශේෂයෙන් දශක තුනක යුද්ධය සඳහා සක්‍රීයව දායකවීම හේතුවෙන් මාතෘභූමිය වෙනුවෙන් දිවි පුද කළ, පූර්ණ සහ අර්ධ ආබාධිත තත්වයට පත් වූ නාවික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය සඳහා සිදු කරනු ලබන සුභසාධන ව්‍යාපෘති පුළුල් කිරීමත්, වෘත්තීය නිපුණතා‍වයෙන් යුතු මානව සම්පත රජයේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා දායක කර රටේ සංවර්ධනය උදෙසා විවිධ ක්ෂේත්‍රයන් ඔස්සේ සහය වීමත් හේතුවෙන් නාවික හමුදාවේ කාර්යභාර්ය වඩාත් පුළුල් වී ඇත.

නාවික රණවිරුවන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධනය සඳහා ‘අපි වෙනුවෙන් අපි’ පූර්ණ සහ අර්ධ නිවාස ව්‍යාපෘති තුළින් යුද්ධයේදී මියගිය සහ ආබාධ තත්වයට පත්වූ රණවිරුවන්ගේ නිවාස සිහිනය සැබෑ කිරීම සඳහා නාවික හමුදා සුභසාධන අංශය විසින් රණවිරු සේවා අධිකාරිය සමඟ සම්බන්ධීකරණය වී සිදු කරනු ලබන සේවය බොහෝ දෙනාගේ පැසසුමට ලක්වී ඇත. මෙවැනි ව්‍යාපෘති දැනට සේවයේ නියුතු නාවික පුද්ගලයින් දිරිගැන්වීම සඳහා ද ඉවහල් වන අතර, සක්‍රීය සේවයේ නියුතු නාවික පුද්ගලයින් සඳහා අවශ්‍ය පහසුකම්ද විශාල වශයෙන් පුළුල් කර ඇත. නාවික පුද්ගලයින්ගේ ක්‍රීඩා කෞෂල්‍යය ඔප්නැංවීම සඳහා අවශ්‍ය පහසුකම් සහ අවස්ථාවන් වැඩි කිරීම තුළින් නාවික හමුදා ක්‍රීඩකයින් ජාතික හා ජාත්‍යන්තර තලයේ විවිධ ක්‍රීඩා ඉසව් තුළින් ලද ජයග්‍රහන නාවික හමුදාවට පමණක් නොව අප මව්බිමේ කීර්ති නාමය ද ඉහල නැංවීමට ඉවහල් වී ඇත. නාවික පුද්ගලයින් සඳහා දේශීය මෙන්ම විදේශීය පුහුණු අවස්ථා වැඩි කිරීම තුළින් ලෝකයේ ඇති නව දැනුම හා කුසලතා වර්ධනය කර ගනිමින් නාවික හමුදාව දැනුමින් හා කුසලතාවලින් පරිපූර්ණ මානව සම්පතක් සමඟින් ඉදිරියට ගෙනයෑමට ඉවහල් වී ඇත.

ඊට අමතරව නාවික හමුදා සේවා වනිතා ඒකකය මඟින් පවත්වාගෙන යනු ලබන නාවික පෙර පාසල් මඟින් නාවික පුද්ගලයින්ගේ දරුවන්ට මූලික අධ්‍යාපනය ලබා දීමට හැකි පරිදි මංපෙත් විවර කර දී ඇති අතර, නාවික පුද්ගලයින්ගේ දරුවන්ගේ දක්ෂතා අගය කරමින් ඔවුන් හට පහ වසර ශිෂ්‍යත්වය, අ.පො.ස සාමාන්‍ය පෙළ සහ අ.පො.ස උසස් පෙළ විභාගයන් සමත් වන සිසු දරුවන් හට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරිමටත් ඒ තුළින් දරුවන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට අත්වැලක් වී ඇත.

මෙවැනි පරිපූර්ණ පරිසරයක තම නාවික ජීවිතය ගතකරන නාවික පුද්ගලයන් හට ඉතා උසස් මානසික ඒකාග්‍රතාවයකින් යුක්තව තම රාජකාරිය මව්බිම වෙනුවෙන් ඉටු කිරීමට අවශ්‍ය පරිසරය නාවික හමුදාව තුළින්ම නිර්මාණය කර ඇත. ශ්‍රී ලංකාවේ මුහුදු සීමාවේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් පූර්ණ වගකීම පැවරී ඇති නාවික හමුදාව, ගොඩබිම මෙන් 8 ගුණයක් පමණ වන අනන්‍ය ආර්ථික සාගර කලාපය ආරක්‍ෂා කිරීම මෙන්ම ගොඩබිම මෙන් 27 ගුණයකින් යුක්ත වු සාගර කලාපයක මුදවා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීම ද ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සිදුකරනු ලබයි. තවද, රටේ ප්‍රධාන වරායන්ද ඇතුලුව දිවයින වටා වෙරල තීරයේ ආරක්‍ෂාව සම්බන්ධ වගකීම ද නාවික හමුදාව සතුවේ.

විශේෂයෙන්ම අප සාගර කලාපය හරහා සිදුවිය හැකි මිනිස් ජාවාරම්, මත්ද්‍රව්‍ය ජාවාරම්, නීති විරෝධී වෙළඳාම, තහනම් අවි හුවමාරුව, නීති විරෝධී ධීවර කටයුතු ආදී විවිධ වූ නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩලීමට නිරන්තර සාගරික මුර සංචාරයන් ඉතා වැදගත් වන අතර, නාවික පුද්ගලයන් දිවා රාත්‍රී නොබලා තම වගකීම් ඉටු කරමින් සාගරික මුර සංචාරයන් නොනවත්වා සිදුකිරීම තුළින් ඉතාමත් ඵළදායී ප්‍රතිඵල නෙලා ගැනීමට පසුගිය වකවානුව තුළදී නාවික හමුදාව සමත් විය. ශ්‍රී ලංකා නාවික හමුදාව සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන කොටස්කරුවන් සමඟ නිරන්තරවම සහයෝගීතාවයෙන් කටයුතු කරන අතර, ඒ සඳහා 2010 වර්ෂයේදී ආරම්භ කළ “ගාලු කතිකාව” අන්තර් ජාතික සාගරික සම්මන්ත්‍රණය ඉතා හොඳ අවස්ථාවක් වී ඇත. එමගින් සාගරික සහයෝගීතාවය තුළින් කලාපීය සාගරය හරහා සිදුවන නීති විරෝධී කටයුතු සම්බන්ධ තොරතුරු හුවමාරු කර ගැනීමට අවස්ථාවක් උදාවී ඇති අතර, නීති විරෝධී කටයුතු පාලනයට ද මහඟු පිටිවහලක් වී ඇත.

නාවික හමුදාව සතුව පවතින විවිධ ප්‍රහාරක බලඝණවලට අමතරව විවිධ කාර්යයන් සඳහා ප්‍රවීණත්වය ලැබු බලඝණ කිහිපයක්ම තිබේ. ගොඩබිම, ගුවන මෙන්ම සාගරික සංග්‍රාම සඳහා පුරෝගාමී වූ විශේෂ යාත්‍රා බලඝණය, වෙරළ ආශ්‍රිත නාවික සංග්‍රාම සඳහා පිහිටුවා ඇති ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බලඝණය මෙන්ම සුවිශේෂී හැකියාවන්ගෙන් සහ දක්ෂතාවයන්ගෙන් පිරිපුන් භූ ජල තරණ ක්‍රියාන්විතයන් සදහා විශේෂ පුහුණුවක් ලබා ඇති නාවික හමුදා මැරීන් බලඇණිය මේ අතරින් සුවිශේෂ වේ. මෙම බලඇණි රටේ හදිසි ආපදා තත්වයන්වලදි ජනතාවට සහායවීම සඳහා සිදු කරනු ලබන සේවය ජනතාවගේ නිබඳ ඇගයීමට ලක් වී ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව විවිධ වූ ස්වාභාවික ව්‍යසනයන් තුළදී ඉතාමත් අනුප‍මේය සේවයක් අප රටේ ජනතාව වෙත සපයනු ලැබේ. විශේෂයෙන්ම ගංවතුර සහ නායයෑම් වැනි උපද්‍රව වලදී ඒ සඳහා මුහුණ දීමට ක්ෂණික ප්‍රතිචාර මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකය නමින් විශේෂිත වූ නාවික බලඝනයක් ද නාවික හමුදාව තුළ ස්ථාපනය කොට ඇත.

නාවික කිමිඳුම් අංශය නාවික හමුදාව සතු නෞකා ආශ්‍රිත රාජකාරි කටයුතු මෙන්ම විවිධ බාහිර කිමිඳුම් අවශ්‍යතා සඳහා ද ඔවුන්ගේ සේවය ඉතා විශිෂ්ඨ ලෙස ලබා දේ. ‍විශේෂයෙන් දියේ ගිලී අතුරුදහන්වන පුද්ගලයන් සොයා ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලීසිය විසින් සිදු කරනු ලබන ඉල්ලීම් සඳහා නාවික හමුදා කිමිඳුම් අංශය දිවා රාත්‍රි නොබලා ක්‍ෂණිකව ප්‍රතිචාර දක්වමින් සිදුකරනු ලබන සේවය නිරන්තර පැසසීමට ලක්වන කාර්යයකි.

මෙයට අමතරව විශේෂයෙන්ම වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය හා එක්ව උතුරු හා උතුරු මැද පළාත් ආශ්‍රිතව පවතින වකුගඩු ‍රෝග නිවාරණයට ද නාවික හමුදාව ඍජුවම මැදිහත්ව සිටින අතර, නාවික හමුදා සංවර්ධන හා පර්යේෂණ ඒකකය මගින් මේ ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජලය ලබා ගැනීමට අවශ්‍ය ප්‍රති ආශ්‍රැත ජල පිරිපහදු පද්ධති 690 ක් පමණ මේ වන විට ස්ථාපිත කර ඇත.

තැලසීමියා රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය වන තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර නිෂ්පාදනය කිරීම නාවික හමුදා සමාජ සුභසාධන ව්‍යාපෘතිය යටතේ ශ්‍රී ලංකා නාවික හමුදා පර්යේෂණ හා සංවර්ධන ඒකකය, ස්වකීය සම්පත් හා දැනුම උපයෝගී කරගනිමින් ඉතා අඩු වියදමකින් යුතුව නිෂ්පාදනය කරනු ලබන අතර, මේවන විට තැලසීමියා නික්ෂේපණ යන්ත්‍ර 1885 නිෂ්පාදනය කර රෝගීන් අතරේ බෙදාහැරීමට කටයුතු කර ඇත.

තවද, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු “නීල හරිත සංග්‍රාමය” ලෙස නම් කරන ලද පරිසර සංරක්‍ෂණ නියමු ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවිම සඳහා ත්‍රිකුණාමලය නාවික තඨාකාංගණය ‘නීල හරිත පාරාදීසයක්’ ලෙස නාවික හමුදාධිපතිතුමා විසින් ප්‍රකාශයට පත් කරන ලද අතර, මිනිසාගේ ක්‍රියාකාරකම් හේතුවෙන් වෙරළාශ්‍රිත පරිසර පද්ධතියට සිදුවන මෙම තර්ජන අවම කර ගැනීම සඳහා නිසි දැක්මක්, බලයක් සහ හැකියාවක් සහිත ආයතනයක් ලෙස ශ්‍රී ලංකා නාවික හමුදාව තිරසාර පරිසර පද්ධතියක් ගොඩනැංවීමේ අරමුණ පෙරදැරිව විශේෂිත ව්‍යාපෘතියක් ලෙස මෙම නීල හරිත පරිසර සංරක්‍ෂණ ව්‍යාපෘතිය ක්‍රියාවට නංවා ඇත.

“රට වට බැඳි රන් වැට” යන විරුදාවලිය ලත් නාවික හමුදාව, වත්මන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිවැරදි මඟපෙන්වීම හා නායකත්වය යටතේ තම වෘත්තීය නිපුණතා මෙන්ම දැනුම ද අඛණ්ඩව වර්ධනය කර ගනු ලබන අතර, පවතින සම්පත් නිසි පරිදි කළමනකරණය කර ගනිමින් අප රටට මහඟු හා විශිෂ්ඨ සේවාවක් ලබා දීමට අඛණ්ඩව දායක වී සිටි.

69 වසරක් පුරාවට සිදු කළ උදාරතර සේවය ඉදිරියට ද රට වෙනුවෙන් ඉටු කිරීමට නාවික හමුදාව නිරන්තරව සූදානමින් සිටින අතර, එවන් ගෞරවනීය වූ සේවාවක් ඉටු කිරීමට හැකිවීම පිළීබඳව ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. ඒ වෙනුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදේශකත්වය හා මඟපෙන්වීම යටතේ ආගමික, සමාජ සුභසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් ලබා දෙමින් පසුගිය දින කිහිපය පුරාම වැඩසටහන් රැසක් සංවිධානය කර ක්‍රියාත්මක කරන ලදී. එමෙන්ම නාවික හමුදාව 69 වසරක් ආ දිගු ගමනේදී මාතෘභූමිය වෙනුවෙන් ජීවිත පුද දුන් සහ ආබාධ තත්වයන්ට පත් වූ සියළුම නාවික රණවිරුවන් මේ මොහොතේ මහත් වූ අභිමානයෙන් සහ ගෞරවපූර්වක භක්ති ප්‍රණාමයෙන් යුතුව සිහිපත් කරන්නෙමු.