මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් නාවික හමුදා සහ පොලිස් එකාබද්ධ මෙහෙයුමක්

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 08 වන දින කින්නියා සහ පුත්තලම යන ප්‍රදේශයන්හිදී මත්ද්‍රව්‍ය ලඟ තබා ගත් පුද්ගලයින් තිදෙනෙකු (03) නාවික හමුදා බාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකාව තුළ නීති විරෝධී ලෙස මත් ද්‍රව්‍ය විකිණීම සහ ලඟ තබා ගැනීම වැනි කටයුතු මැඩලීම සඳහා නාවික හමුදාව ක්‍රියාත්මක කරනු ලැබු මෙහෙයුමක් ශ්‍රී ලංකා පොලීසිය හා එක්ව කින්නියා, සමච්චතිව් ප්‍රදේශය ආශ්‍රිතව සිදු කරන ලදී. එහිදී මාර්ගයේ ගමන්ගත් සැක කටයුතු යතුරු පැදියක් නිරීක්‍ෂණය කර එය පරික්‍ෂාවට ලක් කර ඇත. මෙහිදී යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා ලඟ තිබී කේරළ ගංජා කිලෝග්‍රැම් 02 ක ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර, එහිදී මෙම පුද්ගලයා නාවික හමුදා භාරයට ගෙන ඇත.

එම සැකකරු වයස අවුරුදු 26 ක් වන කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇති අතර, සැකකරු, යතුරු පැදිය සහ කේරළ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කින්නියා, පොලීසිය විසින් සිදු කරනු ලබයි.

තවද, එදිනම නාවික හමුදාව සහ පුත්තලම, මත්ද්‍රව්‍ය නාශක කාර්යාලය එක්ව පුත්තලම ප්‍රදේශයේ සිදු කල ඒකාබද්ධ මෙහෙයුමක් අතරතුර හෂිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත. මෙම සැකකරුවන් වයස අවුරුදු 21 සහ 29 වන වියෙහි පසුවන මාදම්පේ සහ පුත්තලම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

මෙම මත්ද්‍රව්‍ය අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටියදී මෙලෙස අත් අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයින් සහ මත්ද්‍රව්‍ය ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුත්තලම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.