මුහුදේ පාවෙමින් තිබූ බීඩි කොළ කිලෝග්‍රෑම් 1448 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 09) අළුයම මන්නාරම, පේසාලේ ප්‍ර‍දේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී බීඩිකොළ කිලෝග්‍රෑම් 1448 කට ආසන්න ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇත.

මෙරට මුහුදු සීමාව තුල සිදු කරනු ලබන නීති විරෝධී කටයුතු මැඩපැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලැබු මුර සංචාරයක් අතරතුරදී මුහුදේ පාවෙමින් තිබූ සැක කටයුතු පාර්සලයක් නිරීක්‍ෂණය කර ඇත. එහිදී පාර්සල් 29 ක් නාවික හමුදාව සොයාගෙන ඇති අතර, එම පාර්සල් තුල තිබි බීඩී කොළ කිලෝග්‍රෑම් 1448 කට ආසන්න ප්‍රමාණයක් ක් සොයා ගන්නා ලදී.

තවද, නාවික හමුදාව සිදු කරනු ලබන අඛණ්ඩ මුර සංචාර හේතුවෙන් ජාවාරම්කරුවන් විසින් මෙම බීඩී කොළ තොගය මුහුදේ අතහැර දමා ‍ගොස් ඇති බවට සැක පළ කරන අතර, සොයා ගන්නා ලද බීඩි කොළ තොගය ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා යාපනය, රේගු කාර්යාලය වෙත භාර දීමට නියමිතය.

ඒ අනුව මෙම වසර තුලදී පමණක් බීඩි කොළ ටොන් 60 කට ආසන්න ප්‍රමාණයක් නාවික හමුදාව සොයා ගැනීමට කටයුතු කර ඇති අතර, මෙවැනි නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.