කැස්බෑ මස් තොගයක් සමග සැකකරුවෙකු නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් අද (2019 දෙසැම්බර් 10) චාවකච්චේරිය, පල්ලිකුඩා ප්‍රදේශයේදී කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකාව වටා වූ මුහුදු කලාපයේ සාගර සම්පත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් මුහුදේ මෙන්ම වෙරළ තීරය ද කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද මෙහෙයුමක් අතරතුර චාවකච්චේරිය, පල්ලිකුඩා වෙරළ තීරයේදී සැක කටයුතු යතුරු පැදි දෙකක් නිරික්‍ෂණය කර ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ නාවික හමුදාව එම යතුරු පැදි පරීක්‍ෂාවට ලක් කරන ලදී. මෙහිදී එහි සිටි සැකකරුවෙකු සතුව තිබී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 06 ක් පමණ සොයා ගෙන ඇති අතර, එහිදී මෙම සැකකරු නාවික හමුදා භාරයට ගෙන ඇත. එම සැකකරු වයස අවුරුදු 20 වන වියෙහි පසුවන චෙට්ටියර්කුලම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන ඇත. එම සැකකරු, යතුරු පැදි සහ කැස්බෑ මස් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා පුනරීන් පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, නාවික හමුදාව සාගර සම්පත් සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් සිදු කරන ලද මෙහෙයුම් මගින් මෙම වසර තුල පමණක් අවස්ථාවන් 08 කදී කැස්බෑ මස් කිලෝග්‍රෑම් 188 කට අධික ප්‍රමාණයක් සොයා ගෙන ඇති අතර, එහිදී සැකකරුවන් 12 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව කටයුතු කර ඇත. එමෙන්ම පුද්ගලයින් විසින් නීති විරෝධී ලෙස අල්ලන ලද ජීවී කැස්බෑවන් විශාල පිරිසක් නාවික හමුදා බාරයට ගෙන සාගර පද්ධතියට මුදා හැරීමට කටයුතු කර ඇත.

එමෙන්ම, මෙම වඳවි යන කැස්බෑවන් ආරක්‍ෂා කර ගැනීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කැස්බෑ සංරක්‍ෂණ ව්‍යාපෘති දියත් කරගෙන යනු ලබන අතර, ඒ අනුව හඳුනාගනු ලැබූ ආරක්‍ෂිත වෙරළ තීරයන් වලදී සංරක්‍ෂණය කරනු ලැබු කැස්බෑ පැටවුන් රැසක් සාගරයට මුදා හැරීමට නාවික හමුදාව පියවර ගෙන ඇත. එමෙන්ම ශ්‍රී ලංකා නාවික හමුදාව සාගර සම්පත් සුරැකීම පිණිස නිරන්තර මෙහෙයුම් සිදු කරමින් සිටී.