මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 09 වන දින බටහිර මුහුදු ප්‍රදේශයේ සිදු කළ සෝදිසි කිරීමකදී මෝර වරල් තොගයක් සමඟ පුද්ගලයින් 08 දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන ඇත.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපය තුල නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන මුර සංචාරයක් අතරතුරදී බටහිර මුහුදු ප්‍රදේශයේ සිදුකල සෝදිසි කිරීමකදී සැකකටයුතු බහුදින ධීවර යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කර ඇත. අනතුරුව අදාල යාත්‍රාව වැඩිදුර පරීක්‍ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව වෙත භාර දීමට කටයුතු කරන ලද අතර, එහිදී සිදු කල පරීක්‍ෂාවේදී වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින දුර්ලබ ගණයේ මත්ස්‍ය ‍විශේෂයක් වන පොල් කොළ ‍මෝරු වරල් කිලෝග්‍රෑම් 02 ක් පමණ සොයා ගෙන ඇත.

මෙම මෝර වරල් තොගය යාත්‍රාව තුල සුක්‍ෂම අකාරයෙන් සඟවා තිබියදී සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව ඇති අතර, එහිදී මෙම බහුදින යාත්‍රාවේ සිටි සැකකරුවන් 08 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත. එම සැකකරුවන් වයස අවුරුදු 19 ත් 52 ත් අතර වයස්වල පසුවන තොඩුවාව, දඹුල්ල සහ ලුණුවිල යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එම සැකකරුවන්, මෝර වරල් සහ යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා දික්ඕවිට, ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, එහිදී දික්ඕවිට, ධීවර පරික්‍ෂක කාර්යාලය විසින් සිදුකරන ලද වැඩිදුර පරික්ෂණ කටයුතු වලදී පුද්ගලයින් දෙදෙනෙකු හට ගරු අධිකරණය ඉදිරියේ නඩු පවරා ඇත.

වඳ වී යාමේ තර්ජනයට මුහුණ පා සිටින මත්ස්‍ය විශේෂයක් ලෙස හඳුන්වන මෝරා ලංකාවේ මෙන්ම ලොව පුරා මේවන විට සංරක්ෂණය කිරීම සඳහා කටයුතු සිදු කරමින් සිටී. තවද, ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව මඟින් වඳවී යන මෝර විශේෂයන් ලෙස සැලකෙන මිනිමුතු මෝරා, පොල්කොල මෝරා සහ කස මෝරා යන මෝර විශේෂයන් ඇල්ලීම සම්පුර්ණයෙන් තහනම් කිරීමට ද කටයුතු කර ඇත. එමෙන්ම, මෝරා සමුද්‍ර පරිසර පද්ධතිය සමතුලිතව තබා ගැනීමට මහත් සේ උපකාරී වන මත්ස්‍යයෙකු වන අතර, මෙවැනි නීති විරෝධී ධීවර කටයුතු මැඩපැවැත්වීම සඳහා නාවික හමුදාව අවධානයෙන් කැපවීමෙන් කටයුතු කරනු ලබයි.