ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව ත්‍රිකුණාමලයට සේන්දු වෙයි

ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2019 දෙසැම්බර් 10) දින ත්‍රිකුණාමලය වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව හරසරින් යුතුව එම නෞකාව පිළිගන්නා ලදී.

නෞකාව වරායට පැමිණීමෙන් අනතුරුව නෞකාවේ අණදෙන නිලධාරී වන කොමාණ්ඩර් ඔෂිමා ටෙරුහිසා නිලධාරීතුමා නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සංජිව ඩයස් හමුවිය. එහිදී ඔවුන් සුහද පිළිසඳරක නිරත වූ අතර, එම අවස්ථාව සනිටුහන් කරමින් සමරු තිලිණ හුවමාරුවක් ද සිදු කෙරිණි. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කපිතාන් ලුතිනන් ගකු ෆුකව්රා ද සහභාගි විය.

දිගින් මීටර් 151 ක් වන ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව ටොන් 4550 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 165 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය. තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි මෙම ජපන් යුධ නෞකාව, දිව‍යිනේ රැදී සිටින කාල සීමාව තුළදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සුහදතාවය වර්ධනය කිරීම සඳහා සංවිධානය කරනු ලබන ක්‍රීඩා තරඟ ඇතුළු වැඩසටහන් කිහිපයකට ද එහි නැව් මුළුව සහභාගී වීමට නියමිතව ඇත.

ඒ අනුව සංචාරය නිමා කිරීමෙන් අනතුරුව එළඹෙන දෙසැම්බර් 12 වන දින එම නෞකාව දිවයිනෙන් පිටත්වීමට නියමිතව ඇත.