නාවික හමුදා “නීල හරිත සංග්‍රාමය” වෙනුවෙන් චීන තානාපති කාර්යාලය පාපැදි සහ විදුලි මෝටර් රථ ප්‍රදානය කෙරේ

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලී සංකල්පයක් මත ගොඩනැගුණු ‘නීල හරිත සංග්‍රාමය’ ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලය විසින් නාවික හමුදාව වෙත පාපැදි සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක කල හැකි මෝටර් රථ කිහිපයක් 2019 දෙසැම්බර් 10 වන දින නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කරන ලදී.

මෙහිදී පාපැදි සහ විදුලි මෝටර් රථ නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා වෙත නිල වශයෙන් භාර දීම ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුද, ගුවන් සහ නාවික කටයුතු පිළිබඳ නියෝජ්‍ය ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් චැං ක්වාන් ජින් විසින් සිදු කෙරුණි. මෙහිදී පාපැදි 50 ක් සහ විදුලි බලයෙන් ක්‍රියාත්මක කල හැකි මෝටර් රථ 03 ක් මෙලෙස නාවික හමුදාව වෙත ප්‍රදානය කරන ලදී.

නාවික හමුදාව විසින් නීල හරිත පාරාදීසයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති ත්‍රිකුණාමලය, නාවික තඨාකාංගනය තුල රාජකාරි කරනු ලබන නිලධාරීන් හා නාවිකයින්ගේ අභ්‍යන්තර ප්‍රවාහනය කටයුතු සඳහා මෙම පාපැදි සහ මෝටර් රථ බෙදාදීමට නියමිතය. ඒ අනුව, මෙම පාපැදි සහ මෝටර් රථ නාවික හමුදාධිපතිතුමා විසින් නැගෙනහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් මෙරිල් වික්‍රමසිංහ හට ප්‍රදානය කිරීමද අද දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරුණි.

මෙම අවස්ථාව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, රියර් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න සහ නාවික හමුදා මූලස්ථානයට සහ නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.