ග්‍රෙගරි වැවේ ‘Jet Ski’ යාත්‍රාවක් පෙරලීමෙන් අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් බේරා ගැනේ

නුවරඑළිය ග්‍රෙගරි වැවේ විනෝදය පිනිස ‘Jet Ski’ ජල ක්‍රීඩාවේ නිරතව සිටියදී අනතුරට පත් පුද්ගලයින් දෙදෙනෙකු නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 10 වන දින බේරා ගැනීමට සමත් විය.

නුවරඑළිය ප්‍රදේශයේ සංචාරයක නිරතව සිටි මෙම පුද්ගලයින් දෙදෙනා විනෝදය පිණිස ග්‍රෙගරි වැව් පරිශ්‍රයේ පැවැත්වෙන ‘Jet Ski’ ජල ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී එම යාත්‍රාවේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව යාත්‍රාව පෙරලීමෙන් අනතුරට පත්ව ඇත. එහිදී එම පුද්ගලයින් නිරීක්‍ෂණය කළ ග්‍රෙගරි වැව් පරිශ්‍රය අවට ජිවිතාරක්‍ෂක රාජකාරියෙහි නියුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ ක්ෂණික ප්‍රතිචාර දැක්විමේ, මුදවා ගැනීමේ සහ සහන සැලසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජීවිතාරක්‍ෂක නාවිකයින් පිරිසක් විසින් එම පුද්ගලයින් දෙදෙනා නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් විය.

මෙසේ ‍බේරා ගනු ලැබුවේ මහනුවර, කටුගස්තොට ප්‍රදේශයෙන් පදිංචි වයස අවුරුදු 33 ක පිරිමි පුද්ගලයෙකු සහ වයස අවුරුදු 27 ක කාන්තාවක් බව හඳුනාගෙන ඇත. තවද, නාවික හමුදාව විසින් දිවයින වටා වූ සාගර කලාපයේ මෙන්ම දිවයින තුල ගංඟා සහ වැව් ආශ්‍රිතව ද මුදවා ගැනීමේ සහන කණ්ඩායම් අනුයුක්ත කර ඇති අතර, එමඟින් අපදාවන්ට ලක්වන දේශීය මෙන්ම විදේශීය පුද්ගලයින් හට කඩිනමින් සහන සැලසීමට නාවික හමුදාවට හැකිව ඇත.