නීති විරෝධී ලෙස රාත්‍රි කාලයේ මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට

නාවික හමුදාව විසින් මන්නාරම, පල්ලේමුණේ වෙරළ තීරයේ අද (‍2019 දෙසැම්බර් 12) අළුයම සිදු කල මුර සංචාරයක් අතරතුරදී නීතී විරෝධී ලෙස රාත්‍රි කාලයේ මුහුදු කූඩැල්ලන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනෙකු (04) නාවික හමුදා බාරයට ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සාගර සහ මත්ස්‍ය සම්පත සුරක්‍ෂිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තරයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන අතර, එහි එක් මෙහෙයුමක් මන්නාරම, පල්ලේමුණේ වෙරළ තීරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක කරන ලදී. එහිදී වෙරළ තීරයේ තිබු සැක කටයුතු යාත්‍රාවක් නිරීක්‍ෂණය කර එය පරික්‍ෂාවට ලක් කර ඇති අතර, එහි තුල තිබී මුහුදු කූඩැල්ලන් 350 ක් සොයා ගෙන ඇත. සිදු කල වැඩිදුර විමර්ශනයේදී නීති විරෝධි ලෙස රාත්‍රි කාලයේ මුහුදු කූඩැල්ලන් අල්ලා ඇති බව කරුණු අනාවරණය කරගෙන ඇති අතර, රාත්‍රි කාලයේදී මුහුදු කූඩැල්ලන් ඇල්ලීම සඳහා බලපත්‍ර නිකුත් නොකරන හෙයින් මෙම පුද්ගලයින් නාවික හමුදා බාරයට ගෙන ඇත. එම පුද්ගලයින් වයස අවුරුදු 33, 36 සහ 50 යන වයස්වල පසුවන මන්නාරම, පල්ලේමුණේ සහ වංකාලේ යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

එහිදී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 02 ක්, පිටත දහන යන්ත්‍ර 02 ක්, නීති විරෝධි ලෙස අල්ලන ලද මුහුදු කූඩැල්ලන් 350 ක් නාවික හමුදා බාරයට ගෙන ඇති අතර, එම සැකකරුවන්, ධිවර යාත්‍රා, පිටත දහන යන්ත්‍ර, මුහුදු කූඩැල්ලන් සහ අනෙකුත් ධීවර ආම්පන්න ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, ධීවර පරික්‍ෂක වෙත භාර දීමට කටයුතු කරන ලදී.

තවද, මෙම ප්‍රදේශයේදීම 2019 දෙසැම්බර් 09 වන දින නාවික හමුදාව සිදුකල ‍වැටලීමකදී මුහුදු කූඩැල්ලන් 409 දෙනෙකු ‍සමඟ පුද්ගලයින් සිව්දෙනෙකු ද නාවික හමුදාව භාරයට ගැනීමට සමත් වූ අතර, ඒ අනුව 2019 වර්ෂයේදී නාවික හමුදාව විසින් මන්නාරම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලද මෙහෙයුම් මගින් වියලි කූඩැල්ලන් කිලෝග්‍රෑම් 2000 කට ආසන්න ප්‍රමාණයක් සහ කූඩැල්ලන් 900 කට ආසන්න ප්‍රමාණයක් සමඟ නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාවට හැකි විය.