සාර්ථක සංචාරයකින් අනතුරුව ජපාන නාවික හමුදාවට අයත් ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව දිවයිනෙන් පිටත් වෙයි

2019 දෙසැම්බර් 10 වන දින ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ජපාන ස්වයං ආරක්ෂක සාගරික බලකායට අයත් ‘ඩීඩී-102 හරුසාමේ’ නෞකාව අද දින (2019 දෙසැම්බර් 12) සිය තෙදින නිල සංචාරය සාර්ථක ලෙස නිමා කරමින් ත්‍රිකුණාමලය වරායෙන් පිටත් විය.

එහිදී, ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව වෙත සමුදීම සිදු කරන ලද අතර, එම අවස්ථාව සඳහා නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවී සිටියහ.

මෙම නෞකාව මෙරට රැඳී සිටි කාල සීමාව තුළදී එහි නැව් මුළුව නාවික තඨාකාංගණය තුල මෙන්ම ත්‍රිකුණාමලය ආශ්‍රිත වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කළ අතර, 2019 දෙසැම්බර් 11 වන දින ත්‍රිකුණාමලය, ඩච් බේ වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනකට ද සහභාගි වන ලදී. එමෙන්ම, දෙරටේ අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සංවිධානය කරනු ලැබූ තවත් වැඩසටහන් කිහිපයකට ද නෞකාවේ කාර්යමණ්ඩලය සහභාගී විය.