අධික වර්ෂාව හේතුවෙන් ආපදාවට පත් සිවිල් වැසියන් හට නාවික හමුදා සහාය

අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම, රන්දියගම ප්‍රදේශය වැසි ජලයෙන් යට වී ප්‍රදේශයේ සිවිල් වැසියන් ආපදාවට ලක්වී සිටින අතර, ඒ සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සහන සැලසීම වෙනුවෙන් 2019 දෙසැම්බර් 11 වන දින සිට සහන මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.

රටේ සිදුවන ඕනෑම අපදාවකදී සිය දායකත්වය සපයනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව මේ දිනවල පවතින අයහපත් ‍කලගුණික තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසකට නාවික හමුදා සහන කණ්ඩයම් අනුයුක්ත කර ඇත. ඒ අනුව, පුත්තලම දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ රන්දියගම ගම්මානය වැසි ජලය එක් රැස්වී පවුල් රැසක් පීඩාවට පත්ව ඇති අතර, ඒ සඳහා නාවික හමුදාව විසින් එම ජලය මුහුදට පොම්ප කිරීම සඳහා මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදි.

නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකයට (4RU) අනුයුක්ත ජිවිතාරක්‍ෂක කණ්ඩායම් මේ සඳහා යෙදවීමට නාවික හමුදාව කටයුතු කර ඇති අතර, තවද, මේ දිනවල ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත සියළුම නාවික විධානයන් තුළ ගං වතුර අවදානමට ලක්විය හැකි ප්‍රදේශ ආවරණය වන පරිදි නාවික සහන කණ්ඩායම් යොදවා පාලම්, ගංඟා සහ ඇල මාර්ග වල අපද්‍රව්‍ය කඩිනමින් ඉවත්කර ජලය බාධාවකින් තොරව ගලා යාම සැලැස්වීමට මේවන විට වැඩසටහන් ආරම්භ කර ඇත.