හදිසි ආපදාවන්ට මුහුණ දීමට නාවික හමුදාව සීරුවෙන්

ශ්‍රී ලංකාවට මේ දිනවල බලපෑ ඇති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මැදවච්චිය සිට හොරෙව්පතාන දක්වා දිවෙන මාර්ගයේ නව ලයිට් පාරේ පිහිටි පාලමක් කැඩී ගොස් තිබූ අතර, එය තාවකාලිකව පිළිසකර කිරීමට ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය සමග ශ්‍රී ලංකා නාවික හමුදාව එක්ව 2019 දෙසැම්බර් 12 වන දින පියවර ගෙන ඇත.

රට ඇතිවන ඕනෑම ව්‍යසනයකදී හෝ හදිසි ආපදාවකදී විපතට පත් වන මහජනතාව වෙත සහන සැලසීමට කැපවන ශ්‍රී ලංකා නාවික හමුදා‍වේ තවත් මෙහෙවරක් 2019 දෙසැම්බර් 12 වන දින මෙලෙස ක්‍රියාත්මක කරන ලදී. ඒ අනුව මේදිනවල අයහපත් කලගුණික තත්වය හේතුවෙන් මැදවච්චිය සිට හොරෙව්පතාන දක්වා දිවෙන මාර්ගයේ අතුරු මාර්ගයක පිහිටි පාලමක් කැඩී ගොස් ඇති බව නාවික හමුදාව වෙත දැනුම් දුන් වහාම එම ස්ථානය වෙත නාවික හමුදා සහන කණ්ඩායමක් අනුයුක්ත කිරීමට කටයුතු කරන ලදී. මෙම ප්‍රදේශය හරහා ගලා යන ඇලෙහි ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් එම සැඩ පහරට ලක්ව මෙම පාලම කැඩී ඇති අතර, නාවික හමුදා සහන කණ්ඩායම සහ ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය එක්ව ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව එය තාවකාලිකව යථා තත්වයට පත්කිරීමට කටයුතු කරන ලදී.

එමඟින් මෙම මාර්ගය භාවිතා කරනු ලබන මහජනතාව වෙත අවදානමකින් ‍‍තොරව එම පාලමෙන් ගමන් කිරීමට අවස්ථාව උදා විය. මෙම මහඟු කර්තව්‍යයට උරදුන් නාවික පුද්ගලයන් හට මෙන්ම සමස්ථ නාවික හමුදාවට ප්‍රදේශවාසීන්ගේ ස්තුතිය හිමි වූ අතර, එම ක්‍රියාව ඔවුන් මහත් ඉහළින් අගය කරනු ලැබූහ. රටේ ඇතිවන ඕනෑම ව්‍යසනයකදී ඒ සඳහා සහන සැලසීම වෙනුවෙන් නාවික හමුදාව පෙරමුණ ගෙන කටයුතු කිරීමට සුදානමින් සිටි.