ආරක්‍ෂක ලේකම් උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වෙයි

ආරක්‍ෂක ලේකම්, විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා 2019 දෙසැම්බර් 12 වන දින උතුරු නාවික විධානයේ සංචාරයක නිරත වීය. මෙම සංචාරය සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ඇතුළු යුද්ධ සහ ගුවන් හමුදාධිපතිවරු සහභාගි වී සිටියහ.

මෙහිදී සංචාරය ආරම්භ කරමින් ආරක්‍ෂක ලේකම්තුමා මව්බිම වෙනුවෙන් සිය ජීවිතය පුද කළ රණවිරුවන් සිහිකරනු වස් යාපනය, පලාලි පිහිටි රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දක්වන ලදී. අනතුරුව පලාලි ගුවන් හමුදා කදවුරු පරිශ්‍රයේදී උතුරු අර්ධද්වීපයේ රාජකාරි කරනු ලබන ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඇමතීමට කටයුතු කරන ලද අතර, එම අවස්ථාව සඳහා උතුරු ප්‍රදේශභාර ත්‍රිවිධ හමුදා ආඥාපතිවරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම සෙසු නිලයන් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

අනතුරුව ආරක්‍ෂක ලේකම්තුමා කන්කසන්තුරෙයි පිහිටි උතුරු නාවික විධාන මූලස්ථානයේ සංචාරයක නිරත වූ අතර, නාවික හමුදා නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි සහ උතුරු නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් කපිල සමරවීර විසින් ආරක්‍ෂක ලේකම්තුමා උතුරු නාවික විධාන මූලස්ථානය වෙත ඉතා උණුසුම් අයුරින් පිළිගන්නා ලදී. එහිදී විධාන මෙහෙයුම් නිලධාරි (උතුර) විසින් උතුරු නාවික විධානයේ ව්‍යුහය සහ උතුරු ප්‍රදේශයේ නාවික හමුදා වර්තමාන කාර්යභාර්ය පිළිබඳව ආරක්‍ෂක ලේකම්තුමා දැනුවත් කිරීමට කටයුතු කරන ලදී. අනතුරුව අරක්‍ෂක ලේකම්තුමා ඇතුළු පිරිස ශ්‍රී ලංකා නාවික නෞකා ‘උත්තර’ ආයතනයේ නෞකා සහ යාත්‍රා නවතා තැබීමට හැකිවන පරිදි අළුතින් ඉදිකරනු ලබන ජැටිය නිරීක්ෂණය කිරීමේ චාරිකාවාරයක ද නිරත විය.

ඉන්පසුව ආරක්‍ෂක ලේකම්තුමා ඇතුළු පිරිස විසින් උතුරු නාවික විධානය විසින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන ‘යාපනය ව්‍යාපෘතිය’ නිරීක්‍ෂණය කල අතර, එහිදී විධාන සිවිල් ඉංජිනේරු නිලධාරි (උතුරු) විසින් ව්‍යාපෘතියේ සැලසුම හා ව්‍යාපෘතියේ වැඩකටයුතු සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම්තුමා ඇතුළු පිරිස දැනුවත් කරන ලදී. අනතුරුව මෙම අවස්ථාව සනිටුහන් කරමින් ආරක්‍ෂක ලේකම්තුමා සහ උතුරු නාවික විධානය භාර ආඥාපති අතර සමරු තිළිණ හුවමාරුවක් ද සිදු කෙරිණි.