විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාව සාර්ථකව නිමාවට පත්වේ

විශේෂ සාගරික සංග්‍රාමික ආරක්ෂාව සම්බන්ධ පාඨමාලාවේ සහතිකපත් ප්‍රදානොත්සවය 2019 දෙසැම්බර් 13 වන දින ත්‍රිකුණාමලය, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ පුහුණු පාසලේදී පැවැත්විණි

මෙම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් නැගෙනහිර නාවික විධානය භාර නියෝජ්‍ය ආඥාපති, කොමදෝරු සංජිව ඩයස් සහභාගී වූ අතර, එම අවස්ථාව සඳහා 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයේ අණදෙන නිලධාරි, කපිතාන් ධම්මික විජේවර්ධන, විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථානයේ අණදෙන නිලධාරි, කොමාණ්ඩර් තුෂිත දමින්ද, 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට සහ විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගිවී සිටියහ.

මෙම පාඨමාලාව සඳහා විශේෂ යාත්‍රා බලඝණයට අනුයුක්ත නාවික පුද්ගලයින් 24 දෙනෙකු සහ 4 වන වේග ප්‍රහාරක යාත්‍රා සමූහයට අනුයුක්ත නාවික පුද්ගලයින් 11 දෙනෙකු ඇතුළුව ශ්‍රී ලංකා නාවික හමුදා සාමාජිකයින් 35 දෙනෙකු සහභාගී වූ අතර, ඇමෙරිකානු නාවික හමුදාවේ සාමාජිකයින් 08 දෙනෙකු විසින් මෙම පාඨමාලාව මෙහෙයවනු ලැබිය.

මෙම පාඨමාලාව තුලදී පුහුණුව හා ආධාරක අවශ්‍යතා සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය අවබෝධය සහ එකඟතාවය ලබා ගැනීමට නාවික පුද්ගලයින් හට හැකියාව ලැබුණු අතර, එය දින 12 ක කාලසීමාවක් ත්‍රිකුණාමලය විශේෂ යාත්‍රා බලඝණ මුලස්ථාන‍ පරිශ්‍රයේදී පවත්වන ලදී. මෙම පුහුණු පාඨමාලා‍වේදී සාගරික කලාපයේ භූමිකාව, යාත්‍රා නඩත්තුව, සාගරික ආරක්‍ෂාව, මෙහෙයුම් සැලසුම් සහ පුද්ගලික ආරක්‍ෂාව ආදි පුහුණු ක්‍රියාකාරකම් රැසක් ක්‍රියාත්මක කරන ලදී. එසේම පාඨමාලාව අතරතුර ජිවිතාරක්‍ෂක ක්‍රම, අළුත්වැඩියා කටයුතු, බෝට්ටු එන්ජින් නඩත්තුව, මෙහෙයුම්වල අවදානම කළමනාකරණය වැනි විෂයයන් පිළිබඳ න්‍යායත්මක සහ ප්‍රායෝගික ක්‍රියාකාරකම් පුහුණුලාභින්ට ලබා දෙන ලදී.

මෙම පුහුණු පාඨමාලාව එක්සත් ජනපද විශේෂ යාත්‍රා බලඝණය විසින් පවත්වනු ලැබු විෂය කරුණු හුවමාරුකර ගැනීමේ ප්‍රථම විශේෂඥ වැඩසටහනක් ලෙස හැදින්විය හැක.