නාවික හමුදා යුදායුද ‍ඉංජිනේරු තාක්‍ෂණයේ ඉදිරි ‍පියවරක්

ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාව සතු 40 මිමි/එල්60 අවි පද්ධතිය හැසිරවිම පුද්ගල අධාරයෙන් සිදු වූ අතර, එම පද්ධතිය නාවික හමුදා යුදායුද ඉංජිනේරු තාක්‍ෂණය භාවිතා කරමින් විද්‍යුත් ක්‍රමය හරහා ස්වයංක්‍රියව ක්‍රියා කරවීමට ‍ කටයුතු කරන ලදී.

නාවික හමුදා තාක්‍ෂණය යටතේ නිර්මාණය කරන ලද මෙම අවි පද්ධතිය 2019 ‍දෙසැම්බර් 09 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ‘දක්‍ෂිණ’ ආයතන ජැටියේදී නාවික හමුදා අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම්, රියර් අද්මිරාල් නන්දන ජයරත්න ගේ නිරීක්‍ෂනයට ලක් වීය.

මෙම උත්සව අවස්ථාව සඳහා ශ්‍රී ලංකා නාවික නෞකා ‘සමුදුර’ නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් (අවි) ඩේමියන් ප්‍රනාන්දු සහ දකුණු නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ නිලධාරින් පිරිසක් සහභාගි වී සිටියහ.

මෙම ව්‍යාපෘතියේ මූලික අරමුණ වූයේ පුද්ගලයෙකු අධාරයෙන් මෙහෙයවනු ලැබු අවි පද්ධතිය විද්‍යුත් ක්‍රමයට පරිවර්ථනය කිරීම වන අතර, ඒ සඳහා නාවික හමුදාව සතු දැනුම හා තක්‍ෂණය යොදා‍ ගන්නා ලදී. මෙම ව්‍යාපෘතිය අවසානයේදී අවි පද්ධතිය මගින් විද්‍යුත් ක්‍රමයට මෙන්ම පුද්ගල අධාරයෙන් වෙඩි තැබීමට හැකි වූ අතර, ඒ අනුව බලාපොරොත්තු වූ ප්‍රථිපල හිමි කර ගැනීමට නාවික හමුදාවට අවස්ථාව උදා විය.