නීල හරිත සංග්‍රාමය - වෙරළ පරිසර පද්ධතිය සුරක්‍ෂිත කිරීමේ නාවික හමුදා මෙහෙයුම

නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ නිර්මාණශීලි සංකල්පයක් මත ගොඩනැගුණු නීල හරිත සංග්‍රාමය යටතේ දිවයින වටා වූ වෙරළ තීරය සුරක්‍ෂිත කර ගැනීමේ තවත් එක් මෙහෙයුමක් 2019 දෙසැම්බර් 14 වන දින බටහිර සහ දකුණ වෙරළ තීරයන් කේන්ද්‍ර කර ගනිමින් පවත්වන ලදි.

නාවික හමුදාව විසින් දිවයින වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒ අනුව කොළඹ, ගාලු මුවදොර වෙරළ තීරය පිරිසිදු කිරීමේ වැඩසටහනක් නාවික හමුදාව ක්‍රියාත්මක කරන ලදී. එහිදී වෙරළ තීරය පුරා විසිරි තිබූ අපද්‍රව්‍ය ඉවත් කර පිරිසිදු වෙරළ තීරයක් බවට පත් කිරීමට නාවික හමුදාව කටයුතු කරන ලදී.

එමෙන්ම, දකුණු වෙරළ තීරය ද පිරිසිදු කිරීම සඳහා සිය දායකත්වය සැපයීමට නාවික හමුදාව කටයුතු කරන ලද අතර, එහිදී හබරාදුව වෙරළ තීරය සහ හම්බන්තොට නගරය ආශ්‍රිත වෙරළ තිරය පිරිසිදු කිරීමට කටයුතු කරන ලදී. එහිදී, ස්වභාවික හේතූන් සහ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි ලෙස දූෂණයට ලක්ව තිබූ වෙරළ තීරයන් අපද්‍රව්‍ය වලින් තොර වෙරළ තීරයන් බවට පත් කිරීමට කටයුතු කරන ලදී.

තවද, දිවයින වටා වූ වෙරළ තීරය අලංකාරවත්ව සහ සුන්දර වෙරළ තීරයන් ලෙස පවත්වා‍ගෙන යාමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබන අතර, එමඟින් දිවයින වටා වූ වෙරළ තීරයන් දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනා ගැනීමට සමත්ව ඇත.