පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 110 ක් නාවික හමුදාව සොයා ගැනේ

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 15 වන දින ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශයේදී පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් කිලෝග්‍රෑම් 110 ක් සොයා ගෙන ඇත.

ශ්‍රී ලංකාවට අයත් සාගර සම්පත් සුරැකීම වෙනුවෙන් නිරන්තරව සිය දායකත්වය සපයනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව ඒ වෙනුවෙන් අඛණ්ඩ මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව, නාවික හමුදාව විසින් ත්‍රිකුණාමලය, ලංකාපටුන ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලද අතර, මෙහිදී ‍කඩොලාන පදුරු තුල සඟවා තිබූ පෙට්ටි කිහිපයක් නිරික්‍ෂණය කර ඒවා පරික්‍ෂාවට ලක් කර ඇත. ඒ අනුව එම පෙට්ටි තුල පුපුරණ ද්‍රව්‍ය යොදා ඇල්ලූ මසුන් තොගයක් සොයා ගැනීමට නාවික හමුදාවට හැකි වූ අතර, නාවික හමුදාව විසින් මෙම මසුන් තොගය සිය භාරයට ගැනීමට කටයුතු කර ඇත.

නාවික හමුදාව සිදු කරන ලබන මෙහෙයුම් හේතුවෙන් මෙම මසුන් තොගය සඟවා පසුව ලබා ගැනීමේ අදහසින් සැකකරුවන් පලා ගොස් ඇති බවට සැක පල ‍කරන අතර, නීති විරෝධී ලෙස අල්ලන ලද මසුන් තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා ත්‍රිකුණාමලය, සහාකර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කෙරිණි.

තවද, පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම තුලින් ශ්‍රී ලංකාව වටා ඇති සාගර කලාපයේ මත්ස්‍ය සම්පත මෙන්ම සුන්දර කොරල්පර පද්ධතිය ඇතුළු සාගර සම්පත දැඩි ලෙස විනාශවිමේ තර්ජනයට ලක් වන අතර, එබැවින් නාවික හමුදාව මෙහෙයුම් ක්‍රියාත්මක කර මෙවැනි නීති විරෝධී ලෙස මසුන් අල්ලන පුද්ගලයින් නීතියේ රැහැනට හසුකර දීමට නිරන්තරයෙන් කටයුතු කරමින් සිටි.