ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 13 වන උපාධි ප්‍රදානෝත්සවය නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී

බටලන්ද, ආරක්ෂක සේවා අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ 13 වන උපාධි ප්‍රදානෝත්සවය 2019 දෙසැම්බර් මස 13 වන දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය, මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී පැවැත්විණි. එම අවස්ථාව සඳහා නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ද සහභාගී විය.

ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න, යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගුවන් හමුදාධිපති, එයාර් මාෂල් සුමංගල ඩයස්, කළමනාකරණ විගණන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්ඒසී කුලතිලක මහත්මිය, හිටපු ත්‍රිවිධ හමුදාධිපතිවරුන්, රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල ප්‍රධානීන්, ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, උපාධිධාරීන්ගේ දෙමාපියන් සහ පවුලේ සාමාජිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් විශාල පිරිසක් ද එම උපාධි ප්‍රදානෝත්සවය සඳහා සහභාගී වී සිටියහ.

එම මාණ්ඩලික පාඨමාලාව මෙම වසරේ ජනවාරි මස 03 වන දින ආරම්භ කරන ලද අතර, දෙස් විදෙස් ආරක්ෂක හමුදාවන් නියෝජනය කරමින් නිලධාරීන් 157 දෙනෙකු ඒ සඳහා සහභාගී විය. ඒ අනුව, නාවික හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 33 දෙනෙක්, යුද හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 76 දෙනෙක්, ගුවන් හමුදාව නියෝජනය කරමින් නිලධාරීන් 30 දෙනෙක් මෙම පාඨමාලාව සාර්ථක ලෙස නිම කරන ලදී. එමෙන්ම, බංග්ලාදේශය, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, මාලදිවයින, නේපාලය, ඕමාන්, පාකිස්තානය, රුවන්ඩාව, සවුදි අරාබිය, සුඩානය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල් නියෝජනය කරමින් විදේශ ශිෂ්‍ය නිලධාරීන් 18 දෙනෙකු ද මාණ්ඩලික පාඨමාලාව අවසානයේ සිය උපාධි හිමි කර ගත්හ.

මෙම පාඨමාලාවේහී කැපී පෙනෙන දක්‍ෂතා දැක් වූ ශිෂ්‍ය නිලධාරීන් ලෙස මේජර් රොහාන් ඒකනායක (යුද්ධ හමුදා අංශය), ලුතිනන් කමාන්ඩර් රංගන අතුකෝරළ (නාවික හමුදා අංශය), බලඝණ නායක ප්‍රනීත් කොඩිකාර (ගුවන් හමුදා අංශය) තේරීපත්වූ අතර ඔවුන් ‘Golden Owl’ සම්මානයෙන් පිදුම් ලැබීය. මේජර් රොහාන් ඒකනායක (යුද්ධ හමුදා අංශය), ඉන්දියාවේ කොමදෝරු ප්‍රශාන්ත් මිශ්‍රා (නාවික හමුදා අංශය) සහ බලඝණ නායක ප්‍රනීත් කොඩිකාර (ගුවන් හමුදා අංශය) සේනා විධායක ගෞරවණීය සම්මානයෙන් පිදුම් ලැබීය.