237 වන බඳවා ගැනීමට අයත් ආධුනික නාවිකයින් 422 දෙනෙකු විසිර යති

ශ්‍රී ලංකා නිත්‍ය හා ස්වේච්ඡා නාවික හමුදාවේ 237 වන බඳවා ගැනීමට අයත් නාවිකයන් 422 දෙනෙකු සිය මුලික පුහුණුව නිමකොට 2019 දෙසැම්බර් 16 වන දින විසිර යන ලදී. පුනෑව, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ප්‍රධාන සරඹ පිටියේ පැවති එම විසිරයාමේ පෙළපාලියේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බටහිර නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුමිත් වීරසිංහ සහභාගී විය.

මෙම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන්, උතුරු මැද නාවික විධානය භාර ආඥාපති, රියර් අද්මිරාල් සුදත් කුරුකුලසුරිය, ශ්‍රී ලංකා නාවික නෞකා ශික්‍ෂා ආයතනයේ ආඥාපති, කොමදෝරු සමන් පෙරේරා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ උතුරු මැද නාවික විධානයේ ජේ‍්‍යෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලංකා නාවික‍ නෞකා ශික්‍ෂා ආයතනයට අනුයුක්ත නාවිකයින් රැසක් ද, යුද්ධ සහ ගුවන් හමුදාවේ සහ පොලිසියේ උසස් නිළධාරීන් මෙන්ම ප්‍රදේශයේ රාජ්‍ය අංශයට අනුයුක්ත නිලධාරින් ඇතුළු විසිර ගිය නාවිකයින්ගේ දෙමාපියන්ද සහභාගීවි සිටියහ.

තවද, මූලික පුහුණුව තුළ විශේෂ කුසලතා දැක්වූ නාවිකයින් ඇගයීමට ලක්කරනු වස් කුසලාන ප්‍රධානයක් ද සිදු කෙරුණු අතර, එහිදී 237 වන බඳවා ගැනීමේ දක්‍ෂතම ආධුනික නාවිකයා වශයෙන් ආධුනික නැවි එන්එච්ඒ ජයමාල් කුසලාන හිමි කර ගන්නා ලදී. සියළුම විෂයන්ගෙන් වැඩිම ලකුණු ලබාගත් නාවිකයාට හිමි කුසලානය ආධුනික නැවි ජේඒඑස්ජීඑම් ජයලත් හිමිකර ගත් අතර, ආධුනික නැවි එස්ඩීඒඑල් සමරතුංග හොඳම ඉලක්කකරුට හිමි කුසලානය හිමි කර ගන්නා ලදී. තවද, දක්‍ෂතම ක්‍රීඩකයාට හිමි කුසලානය ආධුනික නැවි එන්එච්ඒ ජයමාල් විසින් හිමි කර ගැනීමට සමත් වූ අතර, දක්‍ෂතම ක්‍රීඩිකාවට හිමි කුසලානය ආධුනික කාන්තා නැවි පීඑච්එස්එම් හේරත් විසින් හිමි කර ගන්නා ලදි. මීට අමතරව දක්ෂතම අංශයට හිමි කුසලානය ‘නන්දිමිත්‍ර’ අංශයට හිමි කර ගැනීමට සමත්වන ලදි.

එමෙන්ම, 237 වන බඳවා ගැනීමට අයත් නාවිකයින්ගේ ආකර්ශණිය සරඹ සංදර්ශණයකින් සහ නාවික හමුදා සංස්කෘතික කණ්ඩායමේ සංදර්ශණයකින් ද මෙම විසිර යාමේ පෙළපාලිය සමන්විත විය.