නාවික හමුදාධිපති විසින් ශ්‍රීලංනානෞ ‘නිපූණ’ ආයතනයේ නව රෝහල් සංකීර්ණය විවෘත කෙරේ‍

ශ්‍රී ලංකා නාවික නෞකා නිපුණ ආයතනයේ පිහිටි නාවික රෝහල (දකුණ) පරිශ්‍රයේ අභිනවයෙන් ඉදි කරන ලද නව ‍රෝහල් ගොඩනැගිල්ල 2019 දෙසැම්බර් 16 වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කෙරුණි.

නාවික හමුදා ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද මෙම රෝහල් ගොඩනැගිල්ල මහල් ‌‌දෙකකින් යුක්ත වන අතර, එහි හදිසි ප්‍රතිකාර ඒකකයක්, ශල්‍යාගාරයක්, එක්ස් කිරණ පද්ධතියක්, ඖෂධාගාරයක්, හෘද රෝග ඒකකයක් සහ භෞතචිකිත්සාගාරයක් මෙන්ම දන්ත වෛද්‍ය ඒකකයකින් ද මෙය සමන්විතය. එමඟින් නාවික පුද්ගලයින්ට, ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට, විශ්‍රාමික නාවික පුද්ගලයින් හා ඔවුන්ගේ පවුල්වල සමාජිකයන්ට මෙන්ම නාවික හමුදා සිවිල් සේවක මහත්ම මහත්මින් හට ප්‍රතිකාර ලබාගැනීමට අවස්ථාව හිමිවනු ඇත.

මෙම රෝහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාව සඳහා අධ්‍යක්ෂ සෞඛ්‍ය සේවා, දකුණු නාවික විධානය භාර ආඥාපති, දකුණු නාවික විධානයට අනුයුක්ත දෙපාර්තමේන්තු ප්‍රධානීන් මෙන්ම නාවික හමුදා මූලස්ථානයට සහ දකුණු නාවික විධානයට අනුයුක්ත ජ්‍යේෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් මෙන්ම ‍නාවිකයින් විශාල පිරිසක් ද සහභාගිවී සිටියහ.