නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට

නාවික හමුදාව විසින් 2019 දෙසැම්බර් 18 වන දින හික්කඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික හමුදා භාරයට ගෙන ඇත.

නීති විරෝධී පන්න ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවීම හේතුවෙන් සිදුවන සාගර සම්පත් විනාශය වලක්වාලීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන මෙහෙයුමක් අතරතුරදී හික්කඩුව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස විදුලි පහන් ආලෝකය භාවිතා කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු (02) නාවික භාරයට ගෙන ඇත. එම පුද්ගලයින් වයස අවුරුදු 47 සහ 64 වන වියෙහි පසුවන අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, එහිදී, ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රාවක්, පිටත දහන යන්ත්‍රයක්, LED විදුලි බල්බ 08 ක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

නාවික හමුදා භාරයට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රාව, පිටත දහන යන්ත්‍රය, විදුලි බල්බ සහ අනෙකුත් ධීවර ආම්පන්න ගාල්ල, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය වෙත භාරදිමට කටයුතු කෙරුණි.

තවද, ධීවර කර්මාන්තයේ නියැලෙන ඉතා සීමිත පුද්ගලයින් පිරිසක් විසින් සිදු කරගෙන යනු ලබන තහනම් දැල් භාවිතය, පුපුරණ ද්‍රව්‍ය යොදා මසුන් ඇල්ලීම ඇතුළු විවිධ නීති විරෝධී පන්න ක්‍රම හේතුවෙන් අප රට වටා ඇති සාගර කලාපයේ සාගර සම්පත විනාශයට ලක්වන අතර, සාගර සම්පත රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තර අවධානයෙන් කටයුතු කරමින් සිටි.