700 වන ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය නාවික හමුදාධිපති‍ විසින් ජනතා අයිතියට පත් කෙරේ.

700 වන ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය අරලගංවිල, පොලිස් අභ්‍යාස විද්‍යාලයේදී, අද (2019 දෙසැම්බර් 20) වන දින නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා විසින් විවෘත කෙරිණි.‍ එම අවස්ථාව සඳහා ගරුතර මහා සංඝරත්නය, නාවික හමුදා සහ පොලීසියේ ජ්‍යේෂ්ඨ නිලධාරින් ඇතුළු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.

නාවික හමුදා මුල්‍ය සහ ශ්‍රම දායකත්වයෙන් ස්ථාපිත කරන ලද මෙම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධතිය මඟින් අරලගංවිල, පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුව ලබන පොලිස් නිලධාරින් සහ එහි කාර්ය මණ්ඩලය, අරලගංවිල, පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් මෙන්ම දඹ ගහ උල්පත ගම්මානයේ වැසියන්ගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට අපේක්‍ෂා කෙරේ.

තවද, වකුගඩු රෝගයෙන් පීඩා විදින ප්‍රදේශවල ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරා ලීම පෙරදැරි කර ගනිමින් වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකායේ මුල්‍ය දායකත්වය මත නාවික හමුදාවේ ශ්‍රම දායකත්වය සහ තාක්‍ෂණික දැනුම උපයෝගී කර ගනිමින්, මේවන විට ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවක ජල පිරිපහදු යන්ත්‍ර විශාල ප්‍රමාණයක් ස්ථාපිත කර ඇත. විශේෂයෙන්ම දිවයිනේ වකුගඩු රෝගයෙන් පීඩා විදින ජනතාවගේ පිරිසිදු පානීය ජල අවශ්‍යතාවය සපුරාලීමට එමඟින් හැකියාව ලැබී ඇත.

ඒ අනුව, ඉදිරියේදී ද වකුගඩු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි මෙවැනිම ප්‍රති ආශ්‍රැතිකරණ ජල පිරිපහදු පද්ධති විශාල ප්‍රමාණයක් ස්ථාපිත කිරීමට වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්යසාධන බලකාය සහ ශ්‍රී ලංකා නාවික හමුදාව තවදුරටත් කටයුතු කරමින් සිටී.

<\p>