අයහපත් කළගුණික තත්වයට මුහුණ දීමට නාවික හමුදා සහන කණ්ඩයම් රැසක්

මේ දිනවල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්වය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ රැසකට සහන කණ්ඩායම් ස්ථාපිත කිරීමට නාවික හමුදාව මේවන විට කටයුතු කර ඇත.

රටේ ඇති වන හදිසි තත්වයන් වලට මුහුණ දීමට පෙරමුණ ගෙන කටයුතු කරන ශ්‍රී ලංකා නාවික හමුදාව මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කලගුණ තත්වයට මුහුණ දීමට සහන කණ්ඩයම් රැසක් ප්‍රදේශ රැසක අනුයුක්ත කිරීමට මේවන විට කටයුතු කර ඇත. ඒ අනුව, නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ උපදෙස් මත මුළු දිවයිනම ආවරණය වන පරිදි නාවික විධානයන් තුල හදිසි අවස්ථාවන්ට මුහුණ දීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් සුදානම් කර ඇත.

ඒ සඳහා හදිසි අපදාවන් වලදී සහන සැලසීම වෙනුවෙන් පුහුණුව ලත් නාවික හමුදා මැරීන් බලකාය, නාවික හමුදා ක්ෂණික ප්‍රතිචාර දැක්වීමේ, මුදවා ගැනීමේ සහ සහන සැළසීමේ ඒකකය (4RU), විශේෂ යාත්‍රා බලඝණය සහ නාවික හමුදා කිමිදුම් අංශය ඇතුළු නාවික පුද්ගලයින්ගෙන් සමන්විත සහන සැළසීමේ කණ්ඩායම් රැසක් මේ සඳහා සුදානම් කර ඇත.

තවද, පසුගිය දින කිහිපය පුරාම ගංවතුර ආපදාවකදී සිදුවිය හැකි ව්‍යසනකාරී තත්වයන් අවම කර ගැනීම සඳහා පෙර සූදානමක් වශයෙන් නාවික හමුදාව දිවයිනේ විවිධ ප්‍රදේශවල අපද්‍රව්‍ය එකතු වී ජලය බැස යාම අවහිරවී තිබූ පාලම්, ඇළවල් සහ බෝක්කු පිරිසිදු කිරීමේ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී. එමෙන්ම රටේ ඇතිවන ඕනෑම ආපදා තත්වයකදී මහජනතාවට සහන සැලසීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට නාවික හමුදාව නිරන්තර සුදානමින් සිටි.