නාවික හමුදා පොලිස් ඒකාබද්ධ මෙහෙයුමකින් කේරළ ගංජා තොගයක් සොයා ගැනේ

නාවික හමුදාව සහ පොලීසිය එක්ව අද (2019 දෙසැම්බර් 28) අළුයම මන්නාරම, කොන්නයාන් කුඩිඉරිප්පු ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් පමණ සොයා ගැනීමට සමත්ව ඇත.

මත්ද්‍රව්‍ය මැඩලීම වෙනුවෙන් නිරන්තරයෙන් දායකත්වය සපයනු ලබන ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම කොට්ඨාශ දුෂණ මර්ධන ඒකකය එක්ව මන්නාරම ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් එවැනි ‍මත්ද්‍රව්‍ය මැඩලීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී. එහිදී මන්නාරම, කොන්නයාන් කුඩිඉරිප්පු ප්‍රදේශයේ මාර්ගයක තිබූ සැක කටයුතු යතුරු පැදියක් නාවික හමුදාව නිරීක්‍ෂණය කර ඇති අතර, පසුව අදාල සැක කටයුතු යතුරු පැදිය පරික්‍ෂාවට ලක් කිරීමේදී උරයක බහා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 10 ක් පමණ සොයා ගැනීමට සමත්ව ඇත.

තවද, මෙම කේරළ ගංජා තොගය පාර්සල් 05 ක අසුරා තිබී ඇති අතර, ඒවා ප්‍රවාහනය කරමින් සිට ඇති බව සැක පල කෙරේ. එමෙන්ම, නාවික හමුදා සෝදිසි කිරීම් හේතුවෙන් සැකකරුවන් පලා ගොස් ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇති අතර, සැක කටයුතු යතුරු පැදිය සහ කේරළ ගංජා තොගය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, පොලීසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.