නීති වි‍රෝධීව ඉන්දියාවේ සිට මෙරටට සංක්‍රමණය වූ ශ්‍රී ලාංකිකයින් පිරිස නාවික හමුදා භාරයට

2019 දෙසැම්බර් මස 26 වන දින ඩෙල්ෆ් දූපතට බෝට්ටුවක් පැමිණ ඇති බවට ශ්‍රී ලංකා නාවික හමුදාවට තොරතුරු ලැබී තිබු අතර, එම බෝට්ටුවෙන් ඉන්දියාවේ සිට ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් මෙරටට පැමිණ ඇති බවට ද තොරතුරු ලැබී තිබුණි. ඒ සම්බන්ධයෙන් නාවික හමුදාව පසුගිය දින කිහිපය පුරා පුළුල් මෙහෙයුමක් ක්‍රියාත්මක කරන ලදී.

එහි ප්‍රථිපලයක් වශයෙන් 2019 දෙසැම්බර් 29 වන දින තලෙයිමන්නාරම ප්‍රදේශයේ සිදු කල සෝදිසි මෙහෙයුමකදී නීති විරෝධී‍ ලෙස සංක්‍රමණය වී සැඟව සිටි පුද්ගලයින් පස්දෙනෙකු (05) නාවික හමුදා භාරයට ගැනීමට සමත් වන ලදී.

මෙම පුද්ගලයින් පිරිස නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ ඩෙල්ෆ් දුපතට පැමිණ, පසුව තලෙයිමන්නාරම බලා පැමිණ ඇති අතර, පුද්ගලයින් පස්දෙනාගෙන් (05) කාන්තාවක් (01) සහ පිරිමි පුද්ගලයන් තිදෙනෙකු (03) තලෙයිමන්නාරම, කේබල් හවුස් ප්‍රදේශයේ නිවසක රැඳී සිටියදී අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත. අනතුරුව ඔවුන්ගෙන් සිදු කල ප්‍රශ්ණ කිරීමේදී තවත් පිරිමි පුද්ගලයෙකු (01) යාපනය ප්‍රදේශයේ සැඟව සිටින බවට කරුණු අනාවරණය කරගෙන ඇති අතර, ඒ අනුව එම සැකකරු ද අත් අඩංගුවට ගැනීමට ‍සමත්ව ඇත.

මෙම පුද්ගලයින් ශ්‍රී ලාංකීක පුද්ගලයින් වුව ද නීති විරෝධීව මුහුදු මාර්ගයෙන් මෙරටට පැමිණ ඇති බැවින් මොවුන් මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත. අත් අඩංගුවට ගත් පිරිමි පුද්ගලයින් වයස අවුරුදු 33, 36 සහ 45 වන වියෙහි පසුවන තලෙයිමන්නාරම, පේසාලේ සහ යාපනය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, අත් අඩංගුවට පත් කාන්තාව වයස අවුරුදු 63 ක් වන ඉංගිරිය ප්‍ර‍දේශයේ පදිංචිකාරියක් බව හඳුනාගෙන ඇත.

මෙම සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු තලෙයිමන්නාරම පොලීසිය විසින් සිදු කරනු ලබයි.