නීති විරෝධී ලෙස ගජමුතු අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයන් හත්දෙනෙකු (07) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලීසිය එක්ව 2019 දෙසැම්බර් 31 වන දින කල්මුණේ ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී ගජමුතු ලඟ තබා ගත් පුද්ගලයින් හත්දෙනෙකු (07) අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

සාගර කලාපයේ මෙන්ම රට අභ්‍යන්තරයේද සිදුවන නීති විරෝධී ක්‍රියාවන් මැඩපැවැත්වීම වෙනුවෙන් දායකත්වය සපයන ශ්‍රී ලංකා නාවික හමුදාව, එවැනි තවත් මෙහෙයුමක් පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව කල්මුණේ ප්‍රදේශයේදී සිදු කරන ලදී. එහිදී කල්මුණේ ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී මාර්ගයේ ගමන් ගත් සැක කටයුතු වෑන් රථයක් පරීක්‍ෂා කර ඇති අතර, එහිදී වෑන් රථයේ සිටි පුද්ගලයින් ලඟ තිබී ගජමුතු 05 ක් සොයා ගැනීමට සමත්ව ඇත. එහිදී වෑන් රථයේ ගමන් ගත් සැකකරුවන් හත්දෙනෙකු (07) අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමෙන් පසු සිදුකල වැඩිදුර විමර්ශනයේදී මෙම ගජමුතු නීති විරෝධී ලෙස අලෙවි කිරීමට ප්‍රවාහනය කරමින් සිටි බවට කරුණු අනාවරණය කරගෙන ඇති අතර, මෙම සැකකරුවන් මෙම ජාවාරමේ නිරතවන පුද්ගලයින් බව ද හඳුනාගෙන ඇත.

එම සැකකරුවන් කින්නියා සහ කන්තලේ යන ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 24, 27, 28, 31, 37 සහ 39 වන වියෙහි පසුවන පුද්ගලයින් වන අතර, සැකරුවන් සහ ගජමුතු ඉදිරි විමර්ශන කටයුතු සඳහා කල්මුණේ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.