ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණගරුක, විනයගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු ජය ගැනීම සඳහා කැපවන බවට නාවික හමුදාව ප්‍රතිඥා දෙයි

උදා වූ 2020 නව වර්ෂයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට මත්තෙන් නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා ගේ ප්‍රධානත්වයෙන් අද (2020 ජනවාරි 01) උදෑසන නාවික හමුදා මූලස්ථානයේදී රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.

සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් “රට හදන සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණගරුක, විනයගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු ජය ගැනීම තුළින් 2020 වර්ෂයේ දී සර්ව ආර්ථික ඉලක්ක ළඟාකර ගැනීමේ ඒකායන අභිප්‍රායෙන් යුක්තව වර්තමාන හා අනාගත පරම්පාරාවන්ගේ යහපත උදෙසා උපරිමයෙන් කැපවන බවට එහිදී සියලුම නාවික හමුදා සාමාජිකයින් ප්‍රතිඥා දෙමින් ප්‍රකාශ කරන ලදී.

එම අවස්ථාවට සහභාගී වී සිටි නාවික හා සිවිල් සේවකපිරිස ඇමතූ නාවික හමුදාධිපතිතුමා පළමුවෙන්ම, ලැබුවා වූ 2020 නව වසර සියලු දෙනා හට සෞභාග්‍යමත් ඉසුරින් පිරි වසරක් බවට පත් වේවායි සුභ පැතුම් එක් කරන ලදී. එමෙන්ම, තමන් හට පැවරී ඇති රාජකාරීන් නිසි අයුරින් ඉටු කිරීමේ වැදගත්කම මෙන්ම මාතෘ භූමියේ සංවර්ධනය හා උන්නතිය උදෙසා තමන්ට පැවරී ඇති රාජකාරීන් හා වගකීම් කාර්යක්ෂමව, ඵලදායීව, තිර අදිටනින් යුතුව, උපරිම කැපවීමෙන් සහ අවංකභාවයෙන් ඉටු කළ යුතු බවද අවධාරණය කරන ලදී. එමෙන්ම, මෙවර විශේෂ කරුණක් ලෙස දක්වා ඇති ඵලදායි පුරවැසියෙක්, සතුටින් ජීවත්වන පවුලක්, ගුණගරුක, විනයගරුක සාධාරණ සමාජයක් සහ සෞභාග්‍යමත් දේශයක් යන චතුර්විධ අරමුණු ජය ගැනීම සඳහා උපරිම අයුරින් දායකත්වය ලබා දෙනු ඇතැයි ද අපේක්ෂා කරන බවත් එතුමා වැඩිදුරටත් සඳහන් කරන ලදී.

මෙම අවස්ථා‍ව සඳහා නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල්‍වරුන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ ‍නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයන් මෙන්ම සිවිල් සේවක මහත්ම මහත්මීන් විශාල පිරිසක් සහභාගි වී සිටියහ. එමෙන්ම මීට සමගාමීව සියළුම නාවික විධානයන් ආවරණය වන පරිදි නාවික හමුදා සාමාජිකයින් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් රාජ්‍ය සේවක ප්‍රතිඥාව ලබාදීම සිදු කෙරිණි.


උතුරු නාවික විධානය වැඩසටහන


නැගෙනහිර නාවික විධාන වැඩසටහන


බටහිර නාවික විධාන වැඩසටහන


උතුරු මැද නාවික විධාන වැඩසටහන


වයඹ නාවික විධාන වැඩසටහන


දකුණු නාවික විධාන වැඩසටහන


ගිණිකොන නාවික විධාන වැඩසටහන