ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්මැන්නා’ ආයතනය සිය 24 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරයි

ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ආයතනයක් වන ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්මැන්නා’ ආයතනයේ 24 වන සංවත්සරය අද (2020 ජනවාරි 01) දිනට යෙදි තිබූ අතර, ආයතනයේ අණදෙන නිලධාරි ඇතුළු නැව් මුළුව එය අභිමානවත් ලෙස සමරන ලදී.

ආයතනයේ අණදෙන නිලධාරී ඇතුළු නැව් මුළුව විසින් ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් සංවත්සර උත්සවය උත්කර්ශවත් අයුරින් පැවැත්විමට කටයුතු කර තිබුණි. ඒ අනුව, තම්මැන්නා ආයතනයේ ස්ථාපිත පන්සල් පරිශ්‍රය පිරිසිදු කිරීම, තලෙයිමන්නාරම පියර්ගම මොහිදීන් ජුම්මා මුස්ලීම් පල්ලිය පිරිසිදු කිරීම, තලෙයිමන්නාරම කතෝලික දේවස්ථානය පිරිසිදු කිරීම සහ තලෛයිමන්නාරම ශ්‍රී වාළුකාරාම විහාරස්ථාන පරිශ්‍රය පිරිසිදු කිරීම ආදී වූ ශ්‍රමදාන වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන ලදී.

තවද, 2019 දෙසැම්බර් 17 වන දින ශ්‍රී ලංකා නාවික නෞකා ‘තම්මැන්නා’ ආයතනයේ අණදෙන නිලධාරි විසින් සධාතුක කරඬුව වැඩම වූ අතර, එම අවස්ථාව අලංකාර පෙරහැරකින් වර්ණවත් විය. සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනයෙන් අනතුරුව, පසුදින ගරුතර සංඝයාවහන්සේලා 24 නමක් විෂයෙහි දානමය පිංකමක් සහ පිරිකර පූජාවක් ද පැවැත්විණි.

එමෙන්ම, මෙම සංවත්සරයට සමගාමීව 2019 දෙසැම්බර් 21 සන්ධ්‍යාවේ වර්ණවත් සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබූණි. ඒ අනුව අද දින අණදෙන නිලධාරි ගේ ප්‍රදානත්වයෙන් මංගල භෝජන සංග්‍රහයක් පැවත්විමෙන් පසු සංවත්සර වැඩසටහන් මාලාව නිමාවට පත්විය.