අනවසර සංක්‍රමණික කටයුතු සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාව නාවික හමුදා මූලිකත්වයෙන් කොළඹදී

නීති විරෝධී සංක්‍රමණික කටයුතු හේතුවෙන් ඇතිවන අහිතකර ප්‍රථිපල සහ ඒ සඳහා පනවා ඇති නීති රාමුව සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ සාකච්ජාවක් අද (2020 ජනවාරි 02) නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක, ලුතිනන් කොමාණ්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ගේ ප්‍රදානත්වයෙන් ආරක්‍ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

පසුගිය වකවානුවේ දිගින් දිගටම අනවසරයෙන් සංක්‍රමණය වීම සඳහා උත්සාහ කළ පුද්ගලයින් විශාල පිරිසක් අත් අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවීමට ශ්‍රී ලංකා නාවික හමුදාව කටයුතු කරන ලදී. නීති විරෝධී සංක්‍රමණ කටයුතු සමබන්ධයෙන් ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ද විශේෂ පණිවුඩයක් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත යොමු කර තිබූ අතර, ඒ සම්බන්ධව මාධ්‍ය දැනුවත් කිරීමට සහ නීති විරෝධී සංක්‍රමණ මැඩපැවැත්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගෙන ඇති නීතිමය කරුණු මෙන්ම නීති විරෝධීව සංක්‍රමණයවීම හේතුවෙන් උද්ගතවන සාමාජීය සහ පුද්ගලික ගැටළු පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සඳහා මෙම මාධ්‍ය සාකච්ජාව සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ, ලුතිනන් කොමාණ්ඩර් ඉසුරු සූරියබණ්ඩාර ප්‍රකාශ කර සිටියේ, 2019 වර්ෂයේ සංඛ්‍යාලේඛණ විශ්ලේෂණය කර බැලීමේදී නීති විරෝධී සංක්‍රමණික කටයුතුවල ප්‍රවණතාවයක් පෙන්නුම් කරන බවත්, මිනිස් ජාවාරමේ නිරත පුද්ගලයින් විසින් කූඨ උපක්‍රම උපයෝගී කර ගනිමින් මිනිසුන් රවටා මෙලෙස මිනිස් ජාවාරමේ යෙදෙන බවත් ප්‍රකාශ කරන ලදී. තවද, ඔස්ට්‍රේලියානු රජය විසින් නීති විරෝධී මිනිස් ජාවාරම් කටයුතු මැඩපැවැත්වීම සඳහ ගෙන ඇති දැඩි ප්‍රතිපත්ති (Zero Chance) පිළිබඳව අවධාරණය කල එතුමන් මෙවැනි නීති විරෝධී සංක්‍රමණික කටයුතුවල ඇති ජීවිත අවධානම් තත්වය පිළිබඳව ද දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කරන ලදී. එමෙන්ම, මෙම නීති විරෝධී මිනිස් ජාවාරමේ අවසන් ප්‍රථිපලය ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකිර්තියට පත් වීමත්, සිය ජිවිතය, දේපල සහ මුදල් අවධානමට ලක් කිරීමත් බව පැමිණ සිටි මාධ්‍යවේදී මහත්ම මහත්මීන් හට පෙන්වා දෙන ලදී. තවද, ශක්තිමත් අවේක්‍ෂණ පද්ධතියකින් සහ මනා පුහුණුවකින් යුත් නාවිකයන්ගෙන් සමන්විත ශ්‍රී ලංකා නාවික හමුදාව මේවන විට, ශ්‍රී ලංකාවට අයත් සාගර කලාපයේ සිදුකරන සෝදිසි මෙහෙයුම් වඩාත් පුළුල් කර ඇති බවත්, අවශ්‍ය වූ විටකදී අනෙකුත් ආරක්‍ෂක අංශයන්ගේ ද සහාය ලබා ගැනීමට කටයුතු කරන බව වැඩිදුරටත් ප්‍රකාශ‍කරන ලදී. අවසන් වශයෙන් එතුමන් මිනිස් ජාවාරම් කටයුතුවල නිරත වන ජාවාරම්කරුවන් පිළිබඳව තොරතුරු දන්නේ නම් ඒ සම්බන්ධයෙන් ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකා නාවික හමුදාව දැනුවත් කිරීමට ඕනෑම පුද්ගලයෙකුට අවස්ථාව ඇති බවත් පෙන්වාදෙන ලදී.

මෙම මාධ්‍ය සාකාච්ජාව සඳහා මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදින් රැසක් සහභාගිවී සිටියහ.

තවද, මෙම මාධ්‍ය සාකාච්ජාවේ සම්පුර්ණ විඩියෝව පහත සඳහන් අන්තර්ජාල යොමුව ඔස්සේ නැරඹිය හැක.
https://youtu.be/tSSiDdp4cdA