නීති විරෝධී ලෙස මැණික් අලෙවි කිරීමට සූදානම් වූ ජාවාරම්කරුවන් හයදෙනෙකු (06) නාවික හමුදා සහායෙන් නීතියේ රැහැනට.

නාවික හමුදාව සහ ශ්‍රී ලංකා පොලිසිය එක්ව 2020 ජනවාරි 02 වන දින කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී නීති විරෝධී ලෙස මැණික් ගල් අලෙවි කිරීමට සුදානමින් සිටි පුද්ගලයින් හයදෙනෙකු (06) අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

නීති විරෝධී ජාවාරම් කටයුතු මැඩලීම වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව පෙරමුණ ගෙන කටයුතු කරනමින් සිටින අතර, මේ වනවිට ඒ සඳහා මෙහෙයුම් කටයුතුද ක්‍රියාත්මක කර ඇත. ඒ අනුව, සිදුකල තවත් එක් මෙහෙයුමක් නාවික හමුදාව සහ පොලිසිය එක්ව කල්මුණේ, සයින්දමරුදු ප්‍රදේශයේදී සිදුකරන ලදී. එහිදී, සිදුකල වැටලීමකදී මාර්ගයේ ගමන් ගත් සැක කටයුතු වෑන් රථයක් පරීක්‍ෂාවට ලක්කර ඇති අතර, එම පරීක්ෂා කිරීමේදී වෑන් රථයේ සිටි පුද්ගලයින් ලඟ තිබී මැණික් ගල් 17 ක් සොයා ගැනීමට සමත්ව ඇත. මෙහිදී සිදුකල ප්‍රශ්න කිරීමේදී මෙම මැණික් ගල් තොගය නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා ප්‍රවාහනය කරමින් සිටි බවට කරුණු අනාවරණය කරගෙන ඇති අතර, පසුව වෑන් රථයේ ගමන් ගත් සැකකරුවන් හයදෙනෙකු (06) අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. තව දුරටත් සිදුකල වැඩිදුර විමර්ශනයේදී මෙම සැකකරුවන් මැණික් ජාවාරම්කරුවන් බවට කරුණු අනාවරණය කර ගෙන ඇත.

එම සැකකරුවන් බිබිල සහ අම්පාර යන ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 25,30,32,34,41 සහ 43 වන වියෙහි පසුවන පුද්ගලයින් වන අතර, සැකරුවන් සහ මැණික් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කල්මුණේ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.