නාවික හමුදා සහ පොලිස් ඒකාබද්ධ ‍මෙයෙහුමකින් අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට,

නාවික හමුදා ‍සහ පොලිස් එක්බද්ධ මෙහෙයුමක් 2020 ජනවාරි 02 වන දින මුලතිව්, කල්ලපාඩු ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කල අතර, එහිදී අයිස් (Methamphetamine) මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත් අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික කර්තව්‍යයට උරදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව මෙරටට රැගෙන ඒමට උත්සහ කළ මත්ද්‍රව්‍ය මෙන්ම රට අභ්‍යානත්රය තුළ හුවමාරු වන මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර ඇත. එමෙන්ම එවැනි තවත් වැටලීමක් නාවික හමුදාව සහ පොලිසිය එක්ව, මුලතිව් කල්ලපාඩු ප්‍රදේශයේ ක්‍රියාත්මක කරමින් සිටින අතරතුරදී මාර්ගයේ ගමන් ගත් සැක කටයුතු පුද්ගලයෙකු නිරීක්‍ෂණය කර ඔහුව පරීක්‍ෂාවට ලක් කිරීමේදී ඔහු සතුව තිබී අයිස් (Methamphetamine) නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 430 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, පසුව මෙම සැකකරු අත් අඩංගුවට ගෙන ඇත. එම සැකකරු මුලතිව් ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27 ක් වන පුද්ගලයෙකු බව හඳුනාගෙන ඇත.

තවද, අත් අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකල වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ප්‍රදේශයේ මහා පරිමාණයෙන් ‍මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු ද අත් අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වූ අතර, එම සැකකරුද වයස අවුරුදු 35 ක් පමණ වන මුලතිව් ප්‍රදේශයේම පදිංචිකරුවෙකු වන බව කරුණු අනාවරණය කරගෙන ඇත. එසේම ඔහු සතුව තිබූ මත්ද්‍රව්‍ය ජාවාරම් කටයුතු සඳහා භාවිතා කරන ලද යතුරු පැදිය ද අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.

එම සැකකරුවන්, යතුරු පැදිය සහ අයිස් මත්ද්‍රව්‍ය (Methamphetamine) ප්‍රමාණය ඉදිරි විමර්ශන කටයුතු සඳහා මුලතිව් පොලිසිය වෙත භාරදීමට කටයුතු කල අතර, ඉදිරියේදී ද මෙවැනි මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට නාවික හමුදාව නිරන්තරයෙන් කටයුතු කරනු ලබයි.