කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට නාවික හමුදා සහාය

නාවික හමුදාව සහ පොලිසිය එක්ව 2020 ජනවාරි 03 වන දින කදිරවේලි, තෝපූර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය මැඩලීමේ ජාතික කර්තව්‍යට උරදෙමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිසිය සමඟ එක්ව කදිරවේලි, තෝපූර් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා ග්‍රෑම් 300 ක පමණ ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. මෙම සැකකරුවන් කේරළ ගංජා අලෙවි කිරීම සඳහා සුදානම්ව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරුවන් වයස අවුරුදු 21 ක් සහ 31 ක් වන තෝපූර් සහ තන්ග නගර් ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කේරළ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු මූතුර්, පොලිසිය විසින් සිදු කරනු ලබන අතර, මෙලෙස මත්ද්‍රව්‍ය ලඟ තබා ගන්නා ලද පුද්ගලයින් මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් සිදු කරනු ලබයි.