මතින් තොර රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවරට නාවික හමුදා දායකත්වය - කේරළ ගංජා සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට

නාවික හමුදාව සහ පොලිසිය එක්ව අද (2020 ජනවාරි 04) යාපනය, කයිට්ස් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා සමඟ පුද්ගලයින් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගෙන ඇත.

මතින් තොර රටක් ගොඩනැගීමේ ජාතික මෙහෙවර සඳහා සක්‍රීය දායකත්වය සපයමින් සිටින ශ්‍රී ලංකා නාවික හමුදාව අද පොලිසිය සමඟ එක්ව යාපනය, කයිට්ස් ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 2.5 ක ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු (02) අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත. මෙම සැකකරුවන් කේරළ ගංජා අලෙවි කිරීම සඳහා සුදානම්ව සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, එම සැකකරුවන් වයස අවුරුදු 23 ක් සහ 27 ක් වන කයිට්ස්, සංකනේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

තවද, මෙම සැකකරුවන් සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශණයේදී මෙම සැකකරුවන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බව ද හඳුනාගෙන ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ කේරළ ගංජා ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු කයිට්ස්, පොලිසිය විසින් සිදු කරනු ලබයි.

එමෙන්ම පසුගිය වසර තුළ පමණක් නාවික හමුදාව විසින් අවස්ථා 140 කදී කේරළ ගංජා ටොන් 3.5 කට අධික ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව ඇති අතර, එහිදී සැකකරුවන් 221 දෙනෙකු ද නීතියේ රැහැනට හසුකර දීමට සමත්ව ඇත. තවද, මෙම වසරේ මුල් සතියේදී පමණක් කේරළ ගංජා කිලෝග්‍රෑම් 3 කට ආසන්න ප්‍රමාණයක් සමඟ සැකකරුවන් සිව්දෙනෙකු (04) අත් අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත. එමෙන්ම, මෙරට මත්ද්‍රව්‍ය ක්‍රියාකාරකම් මැඩපැවැත්විම සඳහා නාවික හමුදාව නිරන්තර අවධානය යොමු කරමින් ඒ සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් සිටි.