සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් නාවික හමුදාව තවත් මෙහෙයුමක් ක්‍රියාත්මත කරයි

වෙරළ තීරයන් ආරක්‍ෂා කර ගැනීම හා සංරක්‍ෂණය කර ගැනීමේ අරමුණින් නාවික හමුදාව ක්‍රියාත්මක කරගෙන යනු ලබන තවත් වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනක් අද (2020 ජනවාරි 04) දකුණු වෙරළ තීරයන් කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලදී.

නාවික හමුදාව විසින් දිවයින වටා වූ සුන්දර වෙරළ තීරය රැක ගැනීම වෙනුවෙන් මෙවැනි පරිසර හිතකාමී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරමින් පවතින අතර, ඒ අනුව එහි තවත් මෙහෙයුමක් අද ගාලු මුවදොර වෙරළ තීරය, ගාල්ල දෙවට ආශ්‍රිත වෙරළ තීරය, තංගල්ල පරේවැල්ල වෙරළ තීරය සහ ඉදිවින්න ආශ්‍රිත වෙරළ තීරය පිරිසිඳු කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන ලදී. එහිදී වෙරළ තීරයන්හි විසිරී තිබූ ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු කැළිකසල විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට කටයුතු කරන ලදී. මෙම වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන් සඳහා නාවික පුද්ගලයින් විශාල පිරිසක් සහභාගිවී සිටියහ.

තවද, දිවයින වටා වූ වෙරළ පරිසර පද්ධතිය අපද්‍රව්‍යවලින් තොර සුන්දර වෙරළ තීරයක් බවට පවත්වාගෙන යෑමට අපි සැම කටයුතු කළ යුතු වන අතර, එම යුතුකම වෙනුවෙන් නාවික හමුදාව නිරන්තරයෙන් කැපවී කටයුතු කරනු ලබයි. එමඟින් වෙරළ හා වෙරළ ආශ්‍රිතව පරිසර පද්ධතිය මතුපරපුර වෙනුවෙන් සුරක්‍ෂිත කිරීමට හැකියාව ලැබෙනු ඇත.