නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව් දෙනෙකු (04) අත් අඩංගුවට ගැනීමට නාවික හමුදා සහය

නාවික හමුදාව සහ ගාල්ල, ධීවර කාර්යාලය එක්ව 2020 ජනවාරි මස 05 වන දින ගාල්ල, දොඩන්දූව ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නීති විරෝධී ලෙස මසුන් ඇල්ලූ පුද්ගලයින් සිව්දෙනකු (04) අත් අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී ක්‍රම භාවිතා කරමින් ධීවර කටයුතු වල නිරතවීම හේතුවෙන් සිදුවන සාගර සම්පත් විනාශය වලක්වාලීම අරමුණු කර ගනිමින් ක්‍රියාත්මක කරගෙන යනු ලබන මෙහෙයුමක් ගාල්ල ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව සහ ගාල්ල, ධීවර කාර්යාලය එක්ව සිදු කරන ලද අතර, එහිදී නීති විරෝධී ලෙස විදුලි පහන් ආලෝක භාවිතා කර මසුන් අල්ලමින් සිටි පුද්ගලයින් සිව්දෙනකු (04) අත් අඩංගුවට ගැනීමට සමත්ව ඇත. එහිදී ඔවුන් සතුව තිබී ධීවර කටයුතු සඳහා යොදා ගත් ඩිංගි යාත්‍රා 03 ක්, LED විදුලි බල්බ සහ විදුලි බල්බ දැල්විමට යොදාගත් බැටරි කිහිපයක් අත් අඩංගුවට ගෙන ඇත.

එම පුද්ගලයින් වයස අවුරුදු 36, 42 සහ 58 වන වියෙහි පසුවන ගාල්ල, අක්මීමන සහ දොඩන්දූව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇති අතර, අත් අඩංගුවට ගත් පුද්ගලයින්, ධීවර යාත්‍රා, විදුලි බල්බ සහ අනෙකුත් ධීවර ආම්පන්න සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු ගාල්ල, සහකාර ධීවර අධ්‍යක්‍ෂක කාර්යාලය විසින් සිදු කරනු ලබයි.