ස්වේච්ඡා නාවික හමුදාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන පුහුණු කඳවුර වැලිසරදී ආරම්භ කෙරේ

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ සංවත්සරයට සමගාමීව වාර්ෂිකව පැවැත්වෙන පුහුණු කඳවුර (Annual training camp) අද (2020 ජනවාරි 06) වැලිසර පිහිටි ස්වේච්ඡා නාවික හමුදා මුලස්ථානයේදී ආරම්භ කරන ලදී. එහි ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල සහභාගී විය.

ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 68 වන සංවත්සරය 2020 ජනවාරි 09 වන දිනට යෙදෙන අතර, ඊට සමගාමීව මෙම පුහුණු කඳවුර පැවැත්වීමට කටයුතු කරන ලද අතර, අද දින ආරම්භ කරන ලද පුහුණු කඳවුරේ සමාරම්භක දේශනය ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපති, රියර් අද්මිරාල් නොයෙල් කළුබෝවිල විසින් සිදු කරනු ලදී.

තවද, මෙම අවස්ථාවට සහභාගී වූ නාවික හමුදාධිපතිගේ නාවික සහයක, කොමදෝරු ධම්මික කුමාර විසින් “නාවික හමුදාවේ සිරිත් විරිත් හා චාරිත්‍ර වාරිත්‍ර” යන මැයෙන් එහිදී දේශනයක් සිදු කරන ලද අතර, නාවික හමුදා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ නාවික මෙහෙයුම්, කපිතාන් අරුණ වීරසිංහ විසින් “නාවික හමුදාවේ කාර්යභාරය” යන තේමාව යටතේ හරවත් දේශනයක් සිදු කරන ලදී.

එම අවස්ථාව සඳහා ස්වේච්ඡා නාවික හමුදාවේ අණදෙන නිලධාරී, කොමදෝරු ටෝනි පෙරේරා ඇතුළු ස්වේච්ඡා නාවික හමුදා නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නාවිකයින් විශාල පිරිසක් සහභාගිවී සිටි අතර, මෙම පුහුණු කඳවුර එළඹෙන ජනවාරි මස 24 වන දින දක්වා පැවැත්වීමට නියමිතව ඇත.